තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි (1408-1491)

Thotagamuwe
කෝට්ටේ යුගයේ මහා පඬිවරයකු කිවියකු මෙන් ම භාෂා ගණනාවක ප්‍රවීණත්වයෙන් යුතු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමට උපන් හපන්කමින් යකුන් ගෙන් ද වැඩ ගත් ඒ උන් වහන්සේ අන් කවරකුවත් නොව දෙස් විදෙස් පතළ වූ තොටගමුවේ විජයබා පිරිවෙනේ පිරිවෙන්පති ව වැඩ විසූ වාචීස්සර, ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටකාචාර්ය, මහා කිවි තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ ය.

උන් වහන්සේ මෙලොව එළිය දුටුවේ ක්‍රි.ව. 1408 ය. උපන්නේ දෙමටාන නම් ග්‍රාමයේ ය. දෙමටාන ග්‍රාමයේ අධිපති ව වැඩ විසූ මෞර්ය වංශික ප්‍රභේදයක් වන කඳවුරු කුලයෙහි වික්‍රමබාහු නම් කුමරකුට දාව සීලවතී නම් කුල කුමරිය මේ පින්වත් කුමරු බිහි කළා ය. කුඩා වියේ දී ‘දෙමටාන කුමරු’ ලෙසින් හඳුන්වනු ලැබූ කුමරු බිලිඳු අවධියේ දී ම සිය පියාණන් හදිසියේ මිය පරලොව ගියේ ය.
බිලිඳු සමඟ තනි වූ සීලවතී වැන්දඹුව සිරි පැරකුම් රජු තම බිසෝ තනතුරෙහි තබා ගත්තේ ය. පුත්‍රයකු නොමැති දියණියන් දෙදෙනකුට පමණක් පියකු වූ රජු දෙමටාන බිලිදු කුමරා හදා වඩා ගන්නට වූයේ තමන්ගේ පුත්‍රයකු ලෙසිනි. රජුගේ නොමඳ ස්නේහයෙන් වැඩුණු දෙමටාන කුමරු පසුකලෙක ද රජු සමඟ පැවැති සමීප සබඳතා ගසට පොත්ත මෙන් බිඳකුදු අඩුවක් නොවී පැවැත්තේ ය.

වීදාගම තෙරුන්ගේ ශිෂ්‍යයකු ව ද තොටගමුවේ උත්තරමුල රාහුල තෙරුන්ගේ මුනුපුරකු ද වන දෙමටානේ කුමරුන් ලමා වියෙහි දී ම පැවිදි බිමට පත් වූහ. දෙමටානේ කුමරු එතැන් පටන් තොටගමුවේ සිරි රහල් හිමි නම් වූහ. උන් වහන්සේ මයුර – වාහනා රූඪ කඳ සුරිඳුන්ගෙන් වරයන් ලත් බව ද පොතපතෙහි සඳහන් වේ.
ළා බාලතම වියෙහි පටන් සිය ඥාන ප්‍රතිභාව මොනවට විදහා දැක්වූ ශ්‍රී රහල් හිමියෝ තොටගමුව වෙහෙරේ වැඩි වශයෙන් කල් ගෙවූහ. සිය දිවියෙහි වැඩි කලක් එහි කල් ගෙවූව ද උන් වහන්සේ සවන සිරි පැරකුම්බා නිරිඳුන් හා රජ පවුල සමඟ පැවැති සබඳතා කොතෙක් ද යත් නිතර රජ මාළිගයට වැඩම කිරීම ද සිරිතක් ව පැවතියහ.

ශ්‍රී රහල් හිමියනට තමන්ගේ රාජ්‍යයේ උපදේශක තනතුර ද ප්‍රදානය කළ පැරකුම් නිරිඳාණෝ තම රජ මාලිගය අසල ම ආරාමයක් තනවා දී පූජා කළේ ය. එය පැරණි මාලිගාවත්තේ ම කොටසක් වන ඇතුලු කෝට්ටේ ය. මෙකල සුසාන භූමිය පිහිටි ස්ථානයේ එය ඉදිකර තිබූ බව අසිරිමත් කෝට්ටේ ග්‍රන්ථය කියාදෙයි.

සිරි රහල් හිමියන්ගේ නායක හිමියන් වූ උතුරු මූල මාහිමිපාණන් වහන්සේ ය. උන් වහන්සේ පිළිබඳ කියැවෙන රසවත් කතා පුවතක් ද සිහිනැඟෙයි. පන්සලෙන් බැහැර වැඩම කරන්නට සූදානම් වන ලොකු හාමුදුරුවෝ තම පොත් කාමරයේ තබා ඇති අල්මාරියක් වෙත යති. එහි දොරක් ඇර කුඩා බෝතලයක මූඩිය විවර කරති. සිහින් කෙන්දක් වැනි දෙයක් එහි බහා එළියට ගෙන තම දිවෙහි තෙල් බිඳුවක් තබා ගනිති. පෙර සේ ම බෝතලය එහි සුරැකිව තබා නික්ම යති. කිහිප දිනකදීම සිදු කැරුණු මෙම සිදුවීම දෙස කුතුහලයකින් යුතුව සැඟවී බලා හුන් අපේ පොඩි රාහුල හිමියෝ එක් දිනෙක ඒ පිළිබඳ ව තම ලොකු හාමුදුරුවන් ගෙන් විමසා සිටියහ.
“පොඩි නමට ඒවායින් කාරි නෑ – ඔන්න ඔහෙ වැඩක් බලන් ඉන්ට – එව්ව මහ බලගතු තෙලක්…” ලොකු හාමුදුරුවෝ දුන් පිළිතුරින් සැහීමකට පත් නුවූ රාහුල හිමියෝ තව තවත් ඒ ගැන අසමින් ඇවිටිලි කරන්නට වූහ.
“පොඩි නමටත් ඕන් නැති දෙයක් නෑ වගේ. ඒක තමයි සිද්ධාලෝක රසය – හරිම බලගතුයි. ධාරණ ශක්තිය තෙගුණ වෙනවා. මළත් නරක් වෙන්නෙ නැහැ.”
පොඩි රාහුල හිමිගේ ඇස් උඩ ගියේ ය. එතැනින් කතාව නැවතිණි. දිනක් ලොකු හාමුදුරුවෝ නැති වේලාවක් බලා ඒ අල්මාරියේ තිබූ තෙල් කුප්පිය අතට ගෙන එක හුස්මට මුවට හලාගත් රාහුල හිමියෝ වහා එහි දොර වසා දමා මෙසේ ප්‍රාර්ථනයක යෙදුණේ ලු. තමන් වහන්සේ වැළඳූ බලගතු සිද්ධාලෝක රසය හේතුවෙන් තම සිරුර මරණයෙන් පසු ද දින දස ලක්ෂයක් පවතින්නට සැලසෙත්වා යන්න ඒ ප්‍රාර්ථනාවයි.

කෝට්ටේ යුගයෙහි බිහි වූ සන්දේශ කාව්‍යයන්හි ශ්‍රී රාහුල මාහිමියන්ගේ අද්විතීය ප්‍රතිභාව අසමාන ය. උන්වහන්සේ ගේ ශ්‍රේෂ්ඨ බව දුටු වියත් කවීන් එතුමන් පිළිබඳ කළ අගැයීම් අතර ගිරා සංදේශයෙහි සඳහන් වනුයේ මෙලෙසිනි.

ගැඹුරු විජම් පෙළ කිරි සයුර ඇම විට
සොඳුරු නුවණ මෙර පහරින් සකොබ කොට
මියුරු පද අරුත් අම ගෙන දෙන ලොවට
කවුරු සදිසි වෙති මෙකලට එයනි ඳුට

කොවුල් සඳෙස් කතුවර ඉරුගල් කුලතිලක පිරුවන් හිමියෝ ද සිය කොවුල් සන්දේශයෙහි ශ්‍රී රහල් මාහිමියන්ගේ ශ්‍රේෂ්ඨ බව ද සාහිත කලාවෙහි ප්‍රතිභාපූර්ණ බව ද ඉහළින් වර්ණනා කළහ.

නායක මාහිමියන් අපත්වීමෙන් පසු තොටගමුවේ විජයබා පිරිවෙනෙහි පිරිවෙන්පති ධූරයට පත් උන්වහන්සේ මිහිඳු හිමියන් ආරම්භ කළ මෙරට සංඝ ශාසනය දීප්තිමත් බවින් වැඩි දියුණු කරලන්නට තම නිසඟ භාෂා ඥානයෙන්, පාණ්ඩිත්‍යභාවයෙන් සහ කවීත්වයෙන් දෙස, බස පෝෂණය කිරීමෙහිලා මහත් සේ කැපවී ක්‍රියා කළහ.

විදේශයන්හි වියතුන් ද ශිෂ්‍යයන් ද මෙහි පැමිණ උන්වහන්සේ ගුරු තන්හි තබා ශාස්ත්‍රෝද්ග්‍රහණය කිරීමට පෙළගැසුණාහ. ඉන්දීය සාහිත ලෝකය බැබැළ වූ කාලිදාස, වසුබන්ධු, තාගෝර් ආදී මහා වියත් පඩිදනන් ගේ කෘතීන් පිළිබඳ නිබන්ධයන් ලිවීමට ද එතුමා සමත් වූහ. ලක්දිව මෙතෙක් විසූ කවීන් අතර මුල්තැනෙහිලා අවිවාදයෙන් සැලකෙනුයේ ශ්‍රී රාහුල සංඝරාජ හිමියන්ය. පැපිලියානේ මංගල තෙරුන්ගෙන් පසුව හිස් වූ සංඝරාජ පදවිය උරුම වූයේ උන්වහන්සේට ය.

කෝට්ටේ සාහිත යුගය ප්‍රභාශ්වර කළ උන්වහන්සේගේ බහුශ්‍රැතභාවය හා විචක්ෂණශීලී භාවය පන්සිය පනස් ජාතකයේ සත්තුභත්ත ජාතකය ඇසුරින් ලියූ කාව්‍යශේඛරය නම් ග්‍රන්ථයෙන් හෙළිවන බව විද්වතුන්ගේ පිළිගැනීමයි.

සංස්කෘත ප්‍රාකෘත ශෞරසෙනී, මාගධී, පෛශාඩී හා අප්‍රබංස භාෂා ප්‍රවීණයකු වන උන්වහන්සේ අතින් ලියැවුණු මා හැඟි ග්‍රන්ථයන්ගෙන් කෝට්ටේ යුගයේ සාහිත්‍ය උසස් අන්දමින් පෝෂණය වූහ. උන්වහන්සේ අතින් පරවි සන්දේශය මුල්වරට ලියැවුණි. දෙවනුව කාව්‍යශේඛරය, සැලලිහිණි සන්දේශය, පංචිකාප්‍රදීපය, බුද්ධිප්පසාදනී යන ග්‍රන්ථ ද එළිදැක්වුණේ මුද්‍රිත පොත් නුවූ යුගයකදී ය.

පංචිකාප්‍රදීපයට පාලි, සිංහල, සංස්කෘත පොත් අසූවකින් ගත් කරුණු අඩංගු වී තිබීමෙන් 15 වන ශතවර්ෂයේ භාෂා රැසකින් පොත්පත් ලියූ ශ්‍රී රාහුල හිමියන් හැර අන් කිසිවකු නුවූ බව ද හෙළිවේ. උන්වහන්සේගේ අනෙක් කෘතීන් ලෙස සීමා සංඛර ඡේදනී, තොටගමු නිමිත්ත හා චතුරාර්ය සත්‍ය කාව්‍යය යන ග්‍රන්ථ යැයි සැලකුවද ඒවා නිශ්චය නැත. උන්වහන්සේ විසින් රචනා කරන ලද පරවි සන්දේශයට පාදක වූයේ පැරකුම් රජුගේ දියණියන් දෙදෙනා යැයි කියති. රජුගේ චන්ද්‍රවතී නමැති වැඩිමහල් දියණියට සුදුසු සැමියකු ලැබදෙන ලෙසටත් රජු ආරක්ෂා කරදෙන ලෙසටත් ආයාචනා කරමින් දෙවිනුවර උපුල්වන් දෙවිඳුන් වෙතට පරවි සන්දේශය ලියූ බව ද රජුගේ අනෙක් දියණිය ලෝකනාථ හෙවත් උලකුඩය දේවියට සුදුසු පුත්‍රයකු ලබා දෙන ලෙසට ආයාචනා කරමින් කැලණියේ විභීෂණ දෙවියන් වෙතට ලියූ බවද පොත පතෙහි සඳහන් වේ. එතුමා විසින් කාව්‍යශේඛරය නම් මහා කාව්‍යය රචනා කළේ ද උලකුඩය දේවිය කළ ඇරියුමකින් බව ද එකී ග්‍රන්ථයෙහි ආරම්භයෙහි දී ම සඳහන් වේ. හයවැනි සිරි පැරකුම් රජිඳුන් පිළිබඳ ලියන ලද පැරකුම්බා සිරිත ද ශ්‍රී රාහුල මාහිමියන්ගේ බවට විද්වතුන් පිළිගැනේ.

සිරි රහල් හිමි ගේ ප්‍රධාන ශිෂ්‍යවරයා වූයේ වෑත්තෑවේ හිමියන් ය. දෙනම වහන්සේ අතර හටගත් කිසියම් අමනාපයක් හේතුවෙන් එතුමා අත්හැර ගිය වෑත්තෑවේ හිමියෝ සිවූරු හැර ගියබවත් පසුව ආපසු රාහුල හිමියන් සමග මිත්‍රව නැවතත් පැවිදිව සිටි බවත්, එම වැත්තැවේ හිමියන් රාහුල හිමියන් වර්ණනා කරමින් ලිවූ බවත් සදහන් වේ. අමුතුම ශෛලියකට අනුගතව ලියූ ශ්‍රේෂ්ඨ කාව්‍ය ග්‍රන්ථයක් වූ ගුත්තිලය වෑත්තෑවේ හිමියන්ගේ ප්‍රතිභාව කියාපාන්නකි. වෑත්තෑවේ හිමි අමනාපයෙන් පිටමං ව ගිය සිදුවීම් පෙළට අනුව ගුත්තිල ජාතකය තෝරාගෙන ගුරු ද්‍රෝහී බවේ ආදීන ව උපමා කොට ලියූවක් බව ද සඳහන් වේ. පසුකලෙක වෑත්තෑවේ හිමියන් වෙත රාජ්‍ය ගෞරව සහිත බොහෝ තෑගි බෝග ප්‍රදානය කැරුණු බවද පැවසේ.

සිරිපැරකුම් රජුගේ දෙවන දියණිය උලකුඩය දේවිය පුතකු ප්‍රසූත කළා ය. ඕ විවාහ වී සිටියේ ඉන්දියාවේ නන්නූර්තුනයා නම් ධනයෙන් ද බලයෙන් ද උගත්කමින් ද පිරිපුන් තැනත්තකු සමඟ ය. බෑණනුවන් රජුගේ සිත් දිනා සිටියේ ය. ඔවුනට උපන් පුතුට දෙවන ජයබාහු නම තැබිණි. සිරි පැරකුම් නිරිඳුන් ගේ මුනුපුරා වූ ඒ පුතු කෙරෙහි මහත් ස්නේහයෙන් තමන්ගේ ඇවෑමෙන් රාජ්‍යත්වය දෙවන ජයබාහු කුමරුට හිමිවිය යුතු බවට සලකා තිබූ අතර තම පියරජුගෙන් පසු රජ කිරුළ තම එක ම පුතුට හිමිවිය යුතු බවට උලකුඩය දේවිය ද ශපථ කොට තිබුණා ය. පුතුනට ඇලුම් කළ ද පුතුන් නොලබා දියණියන් පමණක් ලද රජු සිරි රහල් මාහිමි කුඩා වියේ දී දරු කමට ගෙන හදා වඩා ගත් අයුරින් තවත් කුමාරවරුන් දෙදෙනකු ද කුඩා වියේදී ම තමන් වෙත ගෙන පුත්‍ර තනතුරේ තබා ඇති දැඩි කළේ ය. ඒ සපුමල් කුමරු සහ අම්බුළුගල කුමාරයා ය. උතුරු පළාත සපුමල් කුමරුට ද උඩරට පළාත අම්බුළුගල කුමරුට ද පැවරූ රජු කුඩා මුනුපුරු දෙවන ජයබාහු පැවිද්දට කැමැත්තක් දක්වන බවද අවබෝධ කොට සිටියේ ය. දැහැමින් කෝට්ටේ යුගය සාහිත රසින් පුබුදුවාලීමට සාහිත්‍යධරයනට කැපවීමෙන් ඉඩහසර ලැබ දුන්නා වූ හයවැනි සිරි පැරකුම් රජු 71 වියෙහිදී සදහට ම දෑස පියාගත්තේ ය. ඉක්බිති එහි රාජ්‍යත්වයට පත් වූයේ දෙවන ජයබාහු කුමරා ය. රජුගේ මුනුපුරා ය. මේ බව දැනගත් සැනින් නාගයකු සේ කිපී ගිය සපුමල් කුමරු දෙවන ජයබාහු රජු කෙරෙහි වෛරයෙන් දැවී ගියේ ය. සිහසුන හොඳින් හෝ නරකින් තමන්ට ලබාගන්නට තීරණය කළ හෙතෙම සේනා සහිත ව පැමිණ දෙවන ජයබාහු හා සටනට එළැඹියේ ය. තෙවරක් ම සිදුවූ සටනින් පැරද ගිය සපුමල් කුමරු බද්ධ වෛරයෙන් යළිත් සටනට වැද දෙවන ජයබාහු මරාදමා සිහසුන් ගතවූයේ, 6 වන බුවනෙකබාහු නමිනි. මියගිය පැරකුම් රජුට ද රජ මාළිගයේ සියල්ලනට ද කරුණා මෛත්‍රියෙන් ළැදි ව පසු වූ අපේ රහල් මාහිමියන් සපුමල් කුමරු දෙවන ජයබාහු මරාදැමීම පිළිබඳ ව නොසන්සුන් වූහ.

උන්වහන්සේ ගේ දොම්නසට ම මේ සිදුවීම් හේතුපාදක වූහ. පැරකුම් රජු ද අනුමත කළ ජයබාහු ගේ රාජ්‍යත්වය සැහැසි උදුරාගැනීම පිළිබඳ සපුමල් කුමරුට එරෙහි ව රහල් හිමි එළිපිට ම විරෝධතා පෑහ. ඉන් රහල් හිමියන් කෙරෙහි ද සපුමල් කුමරු වෛර බැඳගත්තේ ය. මහත් කලකිරීමකට පත් එතුමා කිසිවකුට හෝ නොදන්වා රහසේ නික්ම ගියහ.
සපුමල් කුමරු තමන් මරා දමනු නියත බව ද දැන සිටි එතුමා ඇල්පිටිය පිටුවල පාරේ අම්බන පෙදෙසේ මහා ගණ වනරොදක උස් කඳු බිමක පිහිටි ඉඳුරුලෙන ගල් ගුහාවෙහි වාසයට වැඩම කළහ. එහි මියගිය ගිහියකුට සිවුරු අන්දවා රාහුල හිමි අපවත්වූ බවට සමීප දායක පිරිස ලවා සපුමල් කුමරුට දැනගන්නට සැලැස්වූහ.

කෙසේවතුදු ඒ මහ ගණ කැලෑවේ ගල්ලෙනෙහි හුදකලාවේ සිය දිවියේ අවසන් කාලය නිහඬව ම ගත කළ උන්වහන්සේ ඒ ගල්ලෙනෙහි ම අපවත් වී වදාළහ. ඒ වන විට උන්වහන්සේට වයස අවුරුදු 80ක් පමණ වුහ. පෘතුගීසීහු ලක්දිව ආක්‍රමණය කිරීමේදී ගල්ලෙනක සුරැකිව පවතින මෘත දේහයක් අහඹුව දුටු පූජකවරයකු මාතර පුංචිත්තා නමැත්තකු ගේ ද සහාය ඇතිව දේහය පෘතුගාලයේ ගෝවේට රැගෙන ගිය බවක් ද කියැවේ.

ක්‍රි.ව. 1505 දී ගෝවේට ගෙන ගිය දේහය එහි බොම්ජේසු දෙව්මැදුරක තබා ආගමික පූජකවරයකු වූ සෙන් ප්‍රැන්සිස් ෂාවියර් නමැත්තා ගේ මළසිරුර එය බවට සාක්ෂිවලින් තොර වූ විශ්වාසයකින් ආරක්ෂා කරති. ප්‍රාණය නිරුද්ධ දේහයේ නිය හා කෙස් තවමත් වැඩෙන බව ද කියති. උන්වහන්සේගේ එක් අතෙක ඉතිපිසෝ ගාථාව පච්චා කොටා තිබූ බවද ඒ අත කපා වෙන්කොට ඇති බව ද කියැවෙයි. එහෙත් මේ කතාවේ බොහෝ තැන් විවාදයට ද බඳුන් වෙමින් ජන තුඩ තුඩ රැඳී පැවතුණ ද සාහිත රසින් ලක්දිව පොබ කළ මහා වියත් සිරි රහල් මාහිමියන්ගේ් නාමය ද රූපය ද නොදිරා තවත් බෝ කල් පවතිනු නිසැක ය. උන්වහන්සේ අමරණීයය.

ලියන ලද්දේ අමල් යශෝමන් ජයසිංහ විසිනි 


%d bloggers like this: