යක්කඩුවේ ශ්‍රී පඥාරාම නා හිමි

ආචාර්ය වල්පොල රාහුළ හිමියන් විසින් 1987 වසරේදී ලිවූ ලිපියකි.

Yakkaduwe-Thero

ඉන්දියාවේ ජනාධිපතිව සිටි ආචාර්ය සර්වපල්ලි රාධක්‍රිෂ්නන් මහතා මීට අවුරුදු හතළිහකට පමණ (1945) ඉහතදී පෑලියගොඩට පැමිණ විද්‍යාලංකාර පිර්වෙනේ උපාධි උත්සවයේ කතාවක් පැවැත්වූ බව තවමත් සමහර අයට මතක ඇත. මෙය විද්‍යාලංකාර පිරිවෙන විශ්ව විද්‍යාල තත්වයට ගත් මුල් පියවර හැටියට සැලකිය හැකිය. රාධක්‍රිෂ්ණ මහතාගේ සිත් ඇදගත් ශාන්ත උදාර උත්සවයට පසුදා එතුමා යක්කඩුවේ හාමුදුරුවන්ගේ චාං කාමරයට කැඳවාගෙන ගොස් උන්වහන්සේ හඳුන්වා දී, “ප්‍රසිද්ධියේ එදිරිපිට පෙනී නොසිටියත්, මේ සියලුම කටයුතුවල මුලිකයා මුන්වහන්සේය” යි කීමි.
“අත්තිවාරම නොපෙනෙයි, පිටතට පෙනෙන්නේ ගොඩනැගිල්ල පමණයි” කියා දාර්ශනික ලීලාවෙන් රාධක්රිෂ්නන් මහතා පවසා, නැවතත් වරක් උන්වහන්සේට නමස්කාර කෙළේය. යක්කඩුවේ ශ්‍රී පඥාරාම නායක ස්ථවිර පාදයන් වහන්සේගේ චරිතය ගැන මීට වඩා හොඳ විවරණයක් කිරීම පහසුයැයි නොසිතේ.
විද්‍යාලංකාර පිරිවෙන ආරම්භකොට පවත්වාගෙන ආ ඒ මහා ස්ථවිරයන් වහන්සේලාට ලෝකයාගේ ගෞරවාදරය හා කෘතඥතාව සදහටම හිමි බැව් අමුතුවෙන් කිවයුත්තක් නොවේ. එහෙත් අප දන්නා මත කාලයේ විද්යාලන්කාරයේ  දියුණුවට “අත්තිවාරම” වුයේ යක්කඩුවේ නායක හාමුදුරුවන් බැව් කීම අතිශෝක්තියක් නොවේ. 
යක්කඩුවේ  හාමුදුරුවන්ගේ ජීවිතයත් විද්‍යාලංකාර යත් දෙකක් නොව එකකි.

අත්තිවාරම  නොපෙනෙයි” කීවාක් මෙන් යක්කඩුවේ හාමුදුරුවෝ ප්‍රසිද්ධියේ පෙනී නොසිටියහ. ප්‍රසිද්ධ රැස්වීම්වල කථා නොපැවත්වුහ. පිටතට පෙනෙන ගොඩනැගිල්ල මෙන්, විද්යාලන්කාරය වෙනුවෙන් ඒ ප්‍රසිද්ධ තැන්වල වෙන අය පෙනී සිටියහ.  වෙන අය කථා කළහ. ඒ හාමුදුරුවන් යම් තැනක පෙනී සිටියා නම්, යම් තැනක කථා කළා නම්, එසේ කෙළේ විද්යාලන්කාරයේ වැඩට අවශ්‍යම වූ විටෙක එසේ නොකර බැරිවූ හෙයිනි.

යක්කඩුවේ හාමුදුරුවන්ගේ ජීවිතය අමුතුම පිළිවෙලේ, ඒ හාමුදුරුවන්ටම ආවේනික වූ ජීවිතයකි. අන්‍යයන් විසින් අනුගමනය කල හැකි හෝ කල යුතු පිළිවෙලක් නොවේ. උන්වහන්සේ මුළු රාත්‍රියම වාගේ ශාස්ත්‍රීය කටයුතුවල නිරත වුහ. අලුයම් කාලයේ නින්දට ගොස් දවල් දානයට කල් ඇතිව අවදි වුහ. දවල් දානයෙන් පසු නැවතත් නොනවත්වාම රෑ තුන හතර වනතුරු ඉගෙනීම, ඉගැන්වීම, ලිවීම, පාලන සංවිධාන ආදී අනේක ප්‍රකාර වැඩවල යෙදුනහ. කෙස් රැවුල් බැවෙත් නොබාම බැරි තරමට දික් වූ විට පමණි. බාහිර පෙනුම ගැන කිසිදු හන්ගීමක් හෝ සැලකිල්ලක් නොවීය. ලෝකයේ නොයෙක් රටවල නොයෙක් තරාතිරම් වල අය දකින්නට ආශ්‍රය කරන්නට ලැබුන නමුත්, මෙබඳු පුද්ගලයෙක් නම් මට හමුවී නැත.

සාරයත් අසාරයත් වෙන් කොට දැක්ක හැකි නුවනක් හා සංස්කෘතියක් ඇති අයට මිස, බාහිර ව්‍යාජ ආටෝපයට රැවටෙන්නන්ට නම්, නොකැපු ඔප නොදැමූ මැණිකක් වැනි මෙම අරුම පුදුම පුද්ගලයාගේ අගය,වටිනාකම නොවැටහුනා විය හැකියි. මෙහි ලා මට හොඳ සිද්ධියක් මතක් වෙයි. පසුගිය කාලයේ ලංකාවේ විසු බ්‍රිතාන්‍ය ජාතික අග්‍ර විනිස්චයකාරයෙක් කැළණි විහාරය බලන්නට ගියේය. අලුත් බිතු සිතුවම් බලා එලියට ආවාට පසු, ඒ සිතියම් කල චිත්‍ර ශිල්පියා වූ මැන්දිස් මහතා අග්‍ර විනිශ්චයකාරයාට මම හඳුන්වා දුනෙමි. පිටිසර ගොවියෙකුගේ පෙනුමෙන් යුත් චිත්‍ර ශිල්පියා දෙස ඔහු නිකම් නෙත් කොනින් බැලුවා පමණි. ඒ අග්‍ර විනිස්චයකාරයා සමහර විට විශාරද නීතීඥයෙකු විය විය හැකිය. එහෙත් මැන්දිස් වැනි ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියෙකුගේ අගය වටිනාකම තේරුම් ගැනීමට තරම් පළල ඉගෙනීමක්, සංස්කෘතියක්, මානසික දියුණුවක් ඔහුට නොතිබුන බව මට පෙනුනි. මෙම චිත්‍ර ශිල්පියා යුරෝපීය ඇඳුම් අඳින, ඉංග්‍රීසි කථා කරන අයෙකු වූවානම්, ඔහුගේ ඒ බාහිර පෙනුම නිසා, සමහර විට ඒ අග්‍රවිනිස්චයකාරයා ඔහුට අතට අත දී කතා කරනවා ඇත.
කල්කටා විශ්ව විද්‍යාලයේ පාලි මහාචාර්යව සිටි, ජාත්‍යාන්තර කීර්තිමත් මහා පඬිවරයෙක් වූ, මගේද ආචාර්ය දිවංගත බී.එම.බරුවා මහතා, ඉහත කී සිද්ධියෙන් කලකට පසු, ලංකාවේ කතා පංතියක් පැවැත්වීමට පැමිණි අවස්ථාවේ, කැළණි විහාරයත් බලන්නට ගියේය.  මහත් භක්තියෙන් හා අවධානයෙන් බිතු සිතුවම් බලා එලියට ආවාට පසු, ඒ සිතුවම් කල චිත්‍ර ශිල්පියා හමුවන්නට කැමතිදැ ?” යි අග්‍ර විනිශචයකාරයාගේ සිද්ධිය මතක තිබුන මම, වැඩි උනන්දුවක් නොපෙන්වා උන්නැහේගෙන් ඇසීමි. “එහෙනම් මොන තරම් වාසනාවක්ද” යැයි එතුමා ගත් කටටම කීය. මම මැන්දිස් මහතා හඳුන්වා දුනිමි. ඒ විශාරද පඬිවරයා මහත් උද්වේගයෙන් චිත්‍ර ශිල්පියා වැළඳ ගත්තේය. නවීන බාහිර ව්‍යාජ ආටෝපයක් නැති, පරණ පන්නේ සරල පෙණුමෙන් යුත් යක්කඩුවේ හාමුදුරුවන්ගේ අගය හා වටිනාකමද, පිට පෙනුමට රැවටෙන අග්‍ර විනිශචයකාරකුට නොනොවටහෙන්නට පිළිවන. එහෙත් ඊට සරිලන සාරවත් සංස්කෘතියක් ඇති බුද්ධිමතෙකුට නම් එය පැහැදිලිව පෙනෙන්නට ඇත.

යක්කඩුවේ හාමුදුරුවන් කිසිම ප්‍රසිද්ධ විභාගයක් පාස්කොට තිබුන බවක් නොදනිමි. උන්වහන්සේගේ  දැනුම, උගත්කම විභාගයකින් උපාධියකින් හැක්කක් නොවීය. උන්වහන්සේ විසින් පල කරන ලද පොත් පත් ලිය කියමන් වලින් උගතුන්ටම එය මැන ගත හැකිය. ලංකා විශ්ව විද්‍යාලයෙන් උන්වහන්සේට ගෞරව උපාධියක් පිරිනමන ලද්දේ ඒ දැනුමටත් ශාස්ත්‍රීය සේවයටත් උපහාර වශයෙනැයි හඟිමි.

උන්වහන්සේගේ ශාස්ත්‍රීය  පර්යේෂණ ඥානය ලක්දිව උගතුන් කෙරෙහි ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන දුර්ලභ දෙයකි. විද්‍යාලංකාර ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ පළමුවැනි පොත වශයෙන් 1946 දී ප්‍රසිද්ධ කළ  .මජ්ජිම නීකායේ පළමුවෙනි කාණ්ඩයට මුන්වහන්සේ ලියු සමන්නේසනයත්, ත්‍රිපිටක ශුද්ධිය යන මාතෘකාවෙන්  සඟරාවේ  ලිපිත්,  මජ්ජිම නිකායේ අලුත් ශුද්ධියට පාලියෙන්ම ලියන ලද (තවම ප්‍රසිද්ධ නොවූ) විවේචනාත්මක අධෝලිපිත් මීට හොඳ නිදසුන්ය.  ඒවායේ දැක්වෙන ඇතැම් ශාස්ත්‍රීය පර්යේෂණයන් හා විවේචනයන් පිට රටවල උගතුන්ගේද දැනීම සඳහා ඉංග්‍රීසි වැනි ජාත්‍යන්තර භාෂාවකින් පලවුවහොත්  එය ලංකාවේ ශාස්ත්‍රීය කීර්තියට  වෙනවා ඇත.

පැරණි සම්ප්‍රදායේ ඉගෙනීමක් ඇතිව සිටි මුන්වහන්සේගේ “ශාස්ත්‍රීය නවීනත්වය” බොහෝ නවීන උගතුන් පවා පුදුමයට පත්  කරයි. එපමණක් නොවේ. පාරම්පරික පැරණි විස්වාස, ඇදහිලි දරන්නේකුගේ බාහිර පෙනුමෙන් හා හැසිරීමෙන් යුතුව සිටි මුන්වහන්සේ අභ්‍යන්තරයෙන් නම් ඒ සියල්ල ඉක්මවා එතෙරට ගිය විප්ලවවාදී දාර්ශනිකයෙක් වුහ.

යක්කඩුවේ හාමුදුරුවන්ගේ කතා බහ ,  බිමන හෙමිහිටය. එහෙත් උන්වහන්සේගේ හිත,  පැහැදිලිව, වේගයෙන් ක්‍රියාකළ බැව්, විනිවීද ගිය බැව්,පෙනේ.   එසේ නොවී නම්, නොයෙක් වැඩ කටයුතු අස්සේ ගැඹුරු, ශාස්ත්‍රීය පර්යේෂණ කල නොහැකිය. යෝගියෙකුගේ වැනි පුහුණු කරන ලද, දමනය කරන ලද, හිතක් උන්වහන්සේට තිබුන බැව් පෙනේ. යමකට හිත ගිය විට, ඊටම යොමුවී, එහිම ඇලී , එහිම කිමිදී, ඒ වැඩේ අවසන් කෙළේය.

ලක්දිව බුදු සමයේ ඉතිහාසයෙහි (History of Buddhism in Ceylon) සඥාපනයේ  “පාලි භාෂාව හා සාහිත්‍යය- විශේෂයෙන් අට්ඨකතා සාහිත්‍යය- පිලිබඳ පෘතුල ඥාණය මගේ ප්‍රයෝජනය සඳහා සම්පුර්ණයෙන් කැප කල විද්‍යාලංකාර පිරිවෙන්හි උප ප්‍රධානාචාර්ය හා අධ්‍යක්ෂ තැන්පත් යක්කඩුවේ සිරි පඥාරාම ස්ථවිරයන් වහන්සේට මා කෘතඥ  පුර්වකව ණය ගැති  වන බැව් ” සඳහන් කොට ඇත. එහෙත්  සිදුවුයේ කුමක් දැයි අප දෙදෙනා හැර වෙන කවුරුවත් නොදත්හ.

ඒ පොත මා ලියු කාලයේ දවසක්, ඒ පිළිබඳව යම් යම් දේ කතා කරන ගමන්, “හාමුදුරුවෝ ඔය  අටුවා බලන කොට,  ලංකාවේ බුද්ධාගම ගැන, සමාජය ගැන, සිරිත් විරිත්, උත්සව වැනි දේවල් ගැන යමක් දකින්න ලැබුනොත්, ඒවා සටහන් කරලා දුන්නොත් මට බොහොම ප්‍රයෝජනයි” කියා මම යක්කඩුවේ හාමුදුරුවන්ට කීමි. ඊට සතියකට හමාරකට පසු දවසක් අටුවා පොත් ගොඩකුත් උස්සාගෙන මගේ කාමරයට අවුත්, ඒවා මේසේ උඩ තබා “ඔන්න අර එදා කිව් පිළිවෙලේ දේවල් සඳහන් වෙන තැන් ඕවායේ ලකුණු කරලා ඇති” කියා, ඒ තැන කීපයක්ද පෙරළා  යක්කඩුවේ හාමුදුරුවෝ මට පෙන්වුහ. උන්වහන්සේ මේ පොත් පිටුවක් ගානේ පෙරලා බලා, උවමනා තැන් පන්සලෙන් ලකුණු කොට, ඒ තැන් බලා ගැනීමට පහසු වනු පිණිස පිටු අතරට කඩදාසි කැබලි ද දමා, සියල්ල පිළියෙළ කොට තිබිණි. මෙබඳු වැඩක දුෂ්කරකම දන්නවුන්ට මෙය විජ්ජාවක් මෙන් හැඟෙනවා ඇත. එහෙත් යක්කඩුවේ හාමුදුරුවන්ගේ වැඩවල හැටි ඔහොමයි.

තමාට හැකි නො හැකි දේ, තමාට සුදුසු නුසුදුසු තැන තේරුම් නොගෙන, හරි ගියත් වැරදුනත් හැම දෙයක්ම හැම තැනකම අල්ලාගන්නට ඒ පස්සේ කෑදරව දුවන්නන්ගෙන් ලෝකය පිරී පවතී. යක්කඩුවේ හාමුදුරුවන්ගේ නොයෙක් අඩුපාඩුකම් දුර්වලකම් තිබුනා විය හැක. එහෙත් උන්වහන්සේ තුල මෙම දුර්වල කෑදරකම නම් නොතිබුන බව පැහැදිලිය. තමාට කළ හැකි දෙයක් තමාට සුදුසු තැනක් යක්කඩුවේ හාමුදුරුවන් පැහැදිලිවම දන සිටි බව පෙනේ. පෙළ අටුවාවල එන අර්ථයෙන් නොව, සීමාසහිත වෙන අර්ථයකින්, උන්වහන්සේගේ මේ දැනීම  “පුද්ගලික ස්ථානාස්ථ ඥාණය” යැයි කීමේ වරදක් නැති සිතමි. විද්‍යාලංකාර පිරිවෙනේ දියුණුවට ජීවිතය කැප කොට,  විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය පිහිටුවීමට මුලිකයා වී හැම දෙයක්ම කලත්, ඒ පිරිවෙනේ හෝ විශ්වවිද්‍යාලයේ ප්‍රධානත්වය ලබා ගැනීමට උන්වහන්සේ තුල කවරදා වත් ආසාවක්, අදහසක් නොවීය. ප්‍රධානත්වය ඉසිලීමට වඩා  කිරීම ජීවන සාධනය බැව් උන්වහන්සේ ගේ හැගීම විය. තනතුරක් දැරීමේත්, වැඩක් කිරීමේත් දෙකේ විශාල වෙනසක් ඇති බැව් උන්වහන්සේ දත්හ. උන්වහන්සේට යම් කිසි තනතුරක්, බලයක් තිබුනා නම්, එය, පැලදීමට ආභරණයක්, අලංකාරයක් වශයෙන් නොව, සේවයට වුවමනා උපකරණයක් වශයෙන් පමණි.

උන්වහන්සේගේ දැනුම විභාගයකින් නොමැනිය හැක්කා සේම, උන්වහන්සේගේ තත්වයද තනතුරකින් මැනිය නොහැකි විය.
මේ “පස්ථානාස්ථ ඥාණය” උන්වහන්සේගේ ජීවිතයේ නොයෙක් වැඩ වලදී බල පැවැත්වූ බැව් සිතිය හැකිය. ලෝකය වටේ ගමනක් යොදා ගැනීම උන්වහන්සේට ඉතා පහසු වැඩක් වුවත්, කවරදාවත් ලංකාවෙන් පිට අඩියක් තබා නැත. වරක් රුසියාවෙන් ආරාධනාවක් ලැබී උන්වහන්සේ එහි යැවීමට සියල්ල පිලියෙල කල නමුත්, උන්වහන්සේ ඊට අකමැති වුහ. මෙබඳු ගමන් බිමන් සඳහා උන්වහන්සේගේ වැඩ අතපසු කරන්නට අකැමැති වූවාක් මෙන්ම, තමාට හුරු පුරුදු ජීවිතයට මෙම විදේශ සංචාර නොගැලපෙන බවද, උන්වහන්සේ දන සිටි බැව් පෙනේ. එපමණක් නොව, හුදෙක් උන්වහන්සේගේ වැඩට වුවමනානම් මිසමිස, කොතරම් උසස් ලොකු පුද්ගලයෙකු වුවත්, නිකම් හඳුනා ගැනීම පිණිස හමුවීමටවත් උන්වහන්සේ ගේ කිසිදු උනන්දුවක් නොවීය. රාධක්‍රීශ්නන් මහතා විද්යාලන්කාරයට පැමිණි වේලේ එතුමා හමුවන්නට වත් උන්වහන්සේ ට වුවමනාවක් නොවීය. විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමේ උත්සවයට පැමිණි ඉන්දීය ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් තුමා ආපසු පිටත් වීමට කලින් දා එතුමා මුණගැසීම පිණිස විද්යාලන්කාරයේ වගකිවයුත්තන් අග්‍රාන්ඩුකාර තුමා විසින් සිය නිවසට කැඳවන ලද නමුත්, යක්කඩුවේ හාමුදුරුවෝ ඒ අවස්තාවටවත් සහභාගී නොවුහ.

යක්කඩුවේ හාමුදුරුවන් යම්කිසි තීරණයකට බැස්සේ බොහෝ දුර දිග බලා, හැම පැත්තක්ම සලකා බලා, හෙමිහිටය. එසේ තීරණයකට බස්සාට පසුව නම්, මොනම ලොක්කෙකුටවත්, බලවතෙකුටවත්, එය වෙනස්කල නොහැකි විය. මොන තරම් කරදර, හිරිහැර, අලාභහානි, නින්දා අපහාස විඳින්ට වුවත්, ” සෙලෝ යථා ඒක ඝනෝ ” උන්වහන්සේ නොසැලී අකම්පිතව සිටියහ.

භික්ෂුන් වහන්සේලා දේශපාලනය වැනි මහජන කටයුතුවල යෙදීම අයෝග්‍යය යන අදහසක් ඇතැම් ප්‍රබල දේශපාලන නායකයෝ 1946 මුලදී ප්‍රකාශ කළහ. මේ මතයට විරුද්ධව ඇතැම් ප්‍රගතිශීලී උගත් භිෂුන් වහන්සේලාත් සමග ප්‍රගතිශීලී ගිහි පිරිසද නැගී සිටියහ. රට දෙකට බෙදී ගියේය. මෙය නුතන යුගයේ ලංකා ඉතිහාසයේ වැදගත් සිද්ධියක් විය. (මේ පිලිබඳ ඉස්තරයක් මේ කර්තෘ විසින් ලියන ලද “භික්ෂුවගේ උරුමය” දෙවන මුද්‍රණයේ ප්‍රස්තාවනාවෙන් කියවෙයි.)

දේශපාලන ගැන  යක්කඩුවේ හාමුදුරුවන්ගේ විශේෂ දැනීමක් හෝ උනන්දුවක් නොවීය. එහෙත් මහජන සේවය ලක්දිව සංඝයාට අයත් පාරම්පරික සම්ප්‍රදායක් බව උන්වහන්සේ ගේ පිළිගැනීම විය. එහෙයින් උන්වහන්සේ මෙම ව්‍යාපාරයට සම්පුර්ණ සහයෝගය දුන්හ. උන්වහන්සේගේ සහයෝගය නොලැබුනානම් ඒ ව්‍යාපාරය, ඒ තත්වයට දියුණු නොවන බව බොහෝ දෙන නොදන්නවා විය හැකිය. උන්වහන්සේ කවරදාවත් මේ ප්‍රශ්නය පිළිබඳව ප්‍රසිද්ධ රැස්වීමක පෙනී සිට කථාවක්  පවත්වා නැත. ඒ ව්යාපරයෙදීත් උන්වහන්සේ “අත්තිවාරම” මෙන් පිටට නොපෙනී සිටියහ.

රටේ පැවැති මතභේදය බලවත් වූ හෙයින්, මේ “භික්ෂු දේශපාලන”  ප්‍රශ්නය පිළිබඳව විද්‍යාලංකාර පිරිවෙනේ තීරණයක් ප්‍රකාශ කල යුතු යැයි වගකිවයුතු බොහෝ දෙනෙක් ඉල්ලා සිටියහ. එහෙයින් “භික්ෂු ජීවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රටවැසියාගේ යහපතට හේතුවන යම් වැඩ පිළිවෙලක් වේ නම්, එහි නම දේශපාලනය හෝ වේවා, කුමක් හෝ වේවා, එහි යෙදීම භික්ෂුන්ට සුදුසුමය” යන තීරණයෙන් යුත් විද්‍යාලංකාර පිරිවෙනේ ප්‍රකාශය,  පරිවේනාධිපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥා සාර නායක ස්ථවිරයන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ එකච්චන්දයෙන් සම්මත කොට, 1946 පෙබරවාරි 13 දා නිකුත් කරන ලදී.

මේ ඓතිහාසික පොරකාශය ලියවුනේ යක්කඩුවේ හාමුදුරුවන්ගේ අතින් බැව් බොහෝ දෙන නොදනිති. (මේ ප්‍රකාශය ‘භික්ෂුවගේ උරුමය’ දෙවෙනි මුද්‍රණයේ 2 වැනි උපග්‍රන්තය ලෙස යොදා ඇත.) මේ ප්‍රකාශය සම්මත කිරීමට රස වූ ආචාර්ය මණ්ඩලය ඉදිරියේ යක්කඩුවේ හාමුදුරුවෝ බරපතල කථාවක් පවත්වා, මේ නිසා නොයෙක් කරදර, හිරිහැර, පීඩාවලට මුහුණපාන්නට සිදුවිය හැකි බවත්, ඒ සියල්ලට මුහුණපාන්නට සුදානම් නැත්නම්, මෙය සම්මත නොකළ යුතු බවත් තරයේ කියා සිටියහ. උන්වහන්සේ කීවාක් මෙන්ම, මේ ප්‍රකාශයෙන් පසු, දේශපාලන බලය අත්කරගෙන සිටි ධනවත්, බලවත් පක්ෂය විද්යාලන්කාරයට ප්‍රසිද්ධියේම විරුද්ධ වන්නට පටන් ගත්හ.


ඒ කාලයේ විද්‍යාලංකාර සභාවේ සභාපති ව සිටි නිකලස් ආටිගල දොස්තර මහතා මේ වියවුල සන්සින්දවීමේ අදහසින්, එදා ලක්දිව ඉතා බලසම්පන්නව සිටි ජන නායකයකුත් සමග, සභාවේ කාරක මණ්ඩලයත් කැඳවා විද්‍යාලංකාර ආචාර්ය මණ්ඩලයත් සමග සාකච්චා කිරීමට සැලැස්වීය.

සවස 7 සිට රෑ 12 වන තුරු පවතී මේ දීර්ඝ සාකච්චාව අමතක නොවන විනෝදජනක සිද්ධීන්ගෙන් යුක්තය. ඉහත කී ජනනායකයා භක්තිමත් බෞද්ධයකු මෙන්, යටහත්පහත්ව බැගෑපත් ලෙස යාච්ඥා කරන ලීලාවෙන් කතාව පටන් ගත්තේය. එය හරි නොයන බැව් පෙනුණු විට, ජන නායකයකුගේ විලාසයෙන්, ආනුභාවසම්පන්නවා, හරබර ඇතිව, මේ දේශපාලන අදහස්වල හා වැඩ පිළිවෙලේ ආදීනව, එයින් විය හැකි විපත විස්තර කළේය. එයිනුත් වැඩක් නොවූ තැන, විද්‍යාලංකාර සභාවේ ව්‍යාවස්තාව සාක්කුවෙන් එලියට ගෙන, තර්ජන පුර්වකව නීතියටම අනුව තර්ක කළේය. ඒ සියල්ලටම යක්කඩුවේ හාමුදුරුවෝ සන්සුන්ව පිළිතුරු දුන්හ. අන්තිමට ඒ මහතා මෙසේ කීය.
“මේ ව්‍යාපාරේ පටං අරං තියෙන්නේ අපේ වරිගේ නැති කරන්නයි. මං කොහොමහරි ඒක රැකගන්නවා. මට කනගාටු මේ ව්යාපරෙන් බුද්ධ ශාසනෙත් විද්‍යාලංකාර පිරිවෙනත් නැතිවෙන එකටයි.”
යක්කඩුවේ හාමුදුරුවෝ පුටුවෙන් නැගිට්ටාහ. ශාලාවෙන් පිටතට ගොස්, කටේ තිබුන බුලත් කෙල එලිය ගසා, ආපසු ඇවිත් සන්සුන්ව වාඩි ගත්හ.
“ඈ මැතිතුමා, ඉතින් ඔය වරිගේ මැතිතුමා රක ගන්නවා නොවැ ? මහා නායක හාමුදුරුවරු බුද්ධ ශාසනේ රැක ගනීවි. විද්‍යාලංකාර පිරිවෙන අපි රැක ගන්නං . එතකොට මේ ව්යාපරෙන් කාටවත් වරදක් වෙන්නේ නෑ නොවැ .”
එදා ඒ ජන නායකයා සිටි ප්‍රබල තත්වයේ හැටියට, කිසිත් සැලීමක්, පැකිලීමක් නැතිව මේ පිළිතුර දීමට යක්කඩුවේ හාමුදුරුවොම සමත්වූහ.
එදා රෑ ඒ ජන නායකයා විද්‍යාලංකාර පිරිවෙනින් පිටවී ගියේ හොඳ හිතින් නොවේ. උන්නැහේත් සමග විද්‍යාලංකාර සභාවේ ධනවත්, බලවත් පිරිසත්, රටේ ධනවත්, බලවත් පක්ෂයත් පිරිවෙනට විරුද්ධ වුහ. පක්ෂව සිටියේත් ආධාරකලේත් දුප්පත් ජනයායි. පිරිවෙනට නොයෙක් කරදර හිරිහැරවලට මුහුණ පාන්නට සිදුවිය. එහෙත් යක්කඩුවේ හාමුදුරුවෝ අකම්පිතව, ඒ සියලු දුෂ්කරතා මැදගෙන, පිරිවෙන ආරක්ෂා කළහ. යක්කඩුවේ හාමුදුරුවන්ගේ දෛර්යය අධිෂ්ඨානය නොවී නම්, ඒ අවස්ථාවේ පිරිවෙන ධනයට බලයට යටත් වන්නට, කීකරු වන්නට ඉඩ තිබුණි. රටේ යහපත පිණිස ආරම්භ කල ඒ උදාර ව්‍යාපාරයත් අහෝසි වන්නට ඉඩ තිබුණි.

1950 විද්‍යාලංකාර පිරිවෙනේ 75 වන වර්ෂය විය. ඒ අවුරුද්දේ මුලදී දවසක් යක්කඩුවේ හාමුදුරුවොත් මමත් කෙනෙකු හමුවීමට තලංගම පැත්තේ කොහාටද ගියෙමු. වැසි සහිත ඒ හිරිකිත දවස මට කවදාවත් අමතක නොවේ. මෝටර් රියකට යා නොහැකි තරම් මඩ හා වල ගොඩලි සහිත කුඩා අතුරු පාරක පිරිවෙනේ කබල් ඔස්ටින් රියෙන් තෙමි තෙමී, පැද්දී පැද්දී යන ගමන්, විද්‍යාලංකාර පිරිවෙණේ 75 වන ජන්මෝත්සවය කෙසේ පැවැත්විය යුතු දැයි අපි සාකච්චා කළෙමු. ශ්‍රේෂ්ඨ ධර්ම ශාස්ත්‍ර සංග්‍රහයක් කලාවුද, කරන්නා වුද, විද්‍යාලංකාර පිරිවෙන වැනි විද්යාස්තානයක 75 වන ජන්මොත්සාහය නිමිත්තෙන්, හැම තැනම පන්සල්වල කරන අන්දමේ පිරිත් පින්කම්, පෙරහැර වැනි උත්සව පැවැත්වීමෙන් වැඩක් නැති බවත්, තුන් නිකායේම උගත් මහා තෙරුන් වහන්සේලා වැඩමවා, ලක්දිව පැරණි ඉතිහාසයේ සඳහන්වන්නක් මෙන් ධර්ම සංගීතියක් පවත්වා, ඒ පොත් ශුද්ධ කොට, ත්‍රිපිටකය මුද්‍රණය මැරවීමට වැඩ පිළිවෙලක් කලොත්, එය ඓතිහාසික සිද්ධියක් මෙන්ම චිරස්ථායි ශාසන සංග්‍රයක් වන බවත් මම කීමි.
භික්ෂු දේශපාලන ප්‍රශ්නය නිසා එදා විද්‍යාලංකාර පිරිවෙන මුහුණ පා සිටි අමාරු තත්වයේ හැටියට මෙබදු බැරෑරුම් වැඩක් කරනවා තබා සිතීමත් දුෂ්කරය. එහෙත් යක්කඩුවේ හාමුදුරුවන්ගේ ආත්ම විශ්වාසය, ධෛර්යය, අධිෂ්ඨානය ඉදිරියේ ඒ අමාරුකම්, දුෂ්කරතා කියන දේවලට කෙලින් සිටින්නට ශක්තියක් නැත. මේ යෝජනා කල අදහසේ වටිනාකම උන්වහන්සේට පෙනී ගියේය. හිතට කා වැදුනේය. සියලු දුෂ්කරතා මැඩ ගෙන උන්වහන්සේ ධර්ම සංගීතිය පැවැත්වුහ.
විද්‍යාලංකාර පිරිවෙනේ අදහස් වරදවා තේරුම් ගෙන සිටි සභාවේ බල සම්පන්න සාමාජිකයෝද, රටේ ධනවත් බලවත් පක්ෂයද පිරිවෙනට අවනත වනන්නට පටන් ගත්හ. බුරුම ආණ්ඩුව මගින් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් හා කීර්තියක් ඇතිව රැන්ගුන් නුවර පැවැත්වූ ජට්ත සන්ගායනාවටද, යක්කඩුවේ හාමුදුරුවන්ගේ තනි උත්සාහයෙන් විද්‍යාලංකාර පිරිවෙනේ පැවැත්වූ ධර්ම සංගීතිය ආදර්ශයක් විය. මෙම ධර්ම සංගීතිය යක්කඩුවේ හාමුදුරුවන්ගෙන් සිදුවූ උදාර ලෝක ශාසන සංග්‍රහයන් අතර ප්‍රමුඛස්ථානය ගනී.පැරිස් විශ්ව විද්‍යාලයේ (සෝර්බෝන්) පර්යේෂණ වැඩ සඳහා මා විද්‍යාලංකාර පිරිවෙනින් පිටත්වුයේ මේ සංගීතිය පවත්වන දවස්වලය.

ඩී.බී.ධනපාල මහතාගේ “Among Those Present” නම් පොතේ යක්කඩුවේ හාමුදුරුවන් ගැන ලියන ලද ලිපියේ ඒ හාමුදුරුවන්ගේ මහඟු ගුණ සමුදාය ව්‍යක්ත ලෙස මෙසේ සම්පිණ්ඩනය වෙයි.
උන්වහන්සේගේ මනෝ දර්ශනයේ අභීතත්වය, අධිස්තානයේ ස්ථිරත්වය, පාන්ඩිත්වයේ අමිතත්වය, හිතේ විස්තාරය, හර්දයේ කාරුණ්‍යා යන මේ ගුණයන්ගේ උදාර මහිමය, සාමාන්‍ය මිනිසා විස්මයට පත් කරයි.”

පසුගිය මහා යුද්ධ කාලයේ දිනක් රෑ බෝවී අපි කොළඹ සිට පෑලියගොඩට ගමන් කෙළෙමු. රිය පැදවූයේ පසු කලෙක විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ කාර්ය සංවිධායක තනතුරට පත්ව සිටි එච්.එම් .තිසේරා මහතායි. ඔහු සමග ඉදිරිපස අසුනේ යක්කඩුවේ හාමුදුරුවෝය. විද්‍යාලංකාර පිරිවෙනේ උප ප්‍රධානව සිටි දිවංගත පණ්ඩිත මාදෝවිට ඥානානන්ද ස්ථවිරයන් වහන්සේත් මාත් පසුපස අසුනේය. කැළණි පාලම අසලදී, හදිසියේම ඉදිරියෙන් ආ යුද ලොරියක් පී අපේ රිය පොඩිවී පෙරලී ගියේය. රිය දෙක හැප්පීමේ මහා ශබ්දය ඇසී එතැනට රැස්වූ මිනිස්සු, අපේ රථයේ උඩට හැරී තිබුන පැත්තේ දොරවල් අමාරුවෙන් ඇර අප එළියට ඇද ගත්හ.
අන්තිමට බලන විට පුස්ස බින්දා වැනි සිද්ධියකි. වැඩකට ගත නොහැකි අන්දමට රථය පොඩිවී තිබුනා මිස, අප කාටවත්ම සිදුවූ සුළු තුවාලය වත් සොයා ගත නොහැකි විය.
කිසිත් සිදු නොවුවාක් මෙන් සන්සුන් ලෙස පාරේ අයිනකට වී, අසංකඩ සාක්කුවෙන් බුලත් විටක් එලියට ගනිමින්, යක්කඩුවේ හාමුදුරුවෝ රහසින් මෙන් මට මෙසේ කීහ.
“මගේ හිතේ අපේ ජීවිතෙන් මොකක් හරි වටිනා වැඩක් කෙරෙන්න තිබෙනවා වෙන්න ඇති.”
අනිත් තිදෙනාගේ ජීවිත කෙසේ වෙතත්, ඒ හාමුදුරුවන්ගේ ජීවිතය පිළිබඳව නම් මේ කීම ඇත්තක් බැව් දැන් නිසැකය.

විද්‍යාලංකාර පිරිවෙන විශ්ව විද්‍යාලයක් කිරීමට යක්කඩුවේ හාමුදුරුවන් දැරූ උත්සාහය සාර්ථක විය. යතා කාලයෙහි උන්වහන්සේ එහි උප කුලපති පදවියටද පත්වුහ. විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය අද කැළණි විශ්වවිද්‍යාලය නමින් හඳුන්වනු ලැබේ.


පුජ්‍යපාද කිරිවත්තුඩුවේ ශ්‍රී පඥා සාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අභාවයෙන් පසු යක්කඩුවේ හාමුදුරුවෝ විද්‍යාලංකාර පරිවේනාධිපති ධුරයට මෙන්ම කොළඹ – හලාවත දෙදිශාවේ ප්‍රධාන සංඝ නායක ධුරයටද පත් වුහ. ලෝක ශාසන සේවය සඳහා විශාල ශිෂ්‍ය පිරිසක් බිහි කළහ.

යක්කඩුවේ නායක හාමුදුරුවන් විසින් ලියා ප්‍රසිද්ධ කරන ලද පොත් පත් රාශිය ගැන යථායෝග්‍ය පරිදි සාකච්චා කිරීමට මෙබඳු ලිපියක ඉඩක් නැත. ඒ සඳහා වෙනම පොතක් ලිවීම අවශ්‍ය වෙයි. එහෙත් උන්වහන්සේගේ අනෙක් වැඩවලදී මෙන්ම ශාත්රීය කටයුතු වලදීත් උන්වහන්සේ ගත්තේ එක්තරා විදියක විලවකාරි අලුත් මගක් බැව් කියා යුතුයි. මජ්ජිම නිකාය ශුද්ධිය හා එහි ඇතුලත් සමන්නේසනා  වැනි විශේෂඥයන් ට ගෝචර වූ ගැඹුරු පර්යේෂණාත්මක කෘතීන් පසෙක තබා, එක්තරා ප්‍රමාණයක ඉගෙනීමක් ඇති අයට තේරුම් ගත හැකි අනෙක් කෘතීන්; ගුත්තිල විචාරය I,II, වා කතා I,II,II, බව තරණ මග හා බුද්ධ චරිතය, භක්ති ගීත වැනි කෘතීන් පමණක් ගෙන බැලුවත් උන්වහන්සේගේ මේ ප්‍රතිභාව හා නවතාව පැහැදිලිවම පෙනෙයි.

පුජ්‍යපාද යක්කඩුවේ ශ්‍රී පඥාරාම නායක ස්වාමින්ද්‍රයනන්වහන්සේ අවුරුදු 79ක් ආයු වළඳා 1986 මාර්තු 1 දා අපවත්වී වදාළහ.මුන්වහන්සේට කලින් විද්‍යාලංකාර පරිවෙනාධිපතිව වැඩවිසූ පුජ්‍යපාද කිරිවත්තුඩුවේ ශ්‍රී පඥා සාර නායක මාහිමියන්ගේ  ආදාහනය රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ පරිද්දෙන්ම, යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ ආදාහනයත් ඒ චතුරස්රයේම රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට රජයේ කැමැත්ත දන්වන ලදී. එහෙත් යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ අන් වැඩවලදී මෙන්ම, මෙහිදීත් උන්වහන්සේ ගත මග වෙනස් විය. උන්වහන්සේ ගේ අන්තිම කැමැත්ත වුයේ තමන් වහන්සේගේ ආදාහනයත්, සිය ජීවිතය මෙන් සැලකූ, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් භූමියේම කිරීමටයි.ඊට පෙර ඒ භුමියේ කවදාවත් ආදාහනයක් නොකෙරුණු බැවින් එහි ආදාහන මළුවක් නොවීය. දවස් තුන හතරකදී අවශ්‍ය අන්දමින් ආදාහන මලු පත් මං පිළියෙළ කිරීමද බාරදුර කාර්යයක් විය. එදා  අග්‍රාමාත්‍යව සිටි අද ජනාධිපතිව සිටින ආර්,ප්‍රේමදාස මැතිතුමා ඉතා ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් හා ඕනෑකමකින්, එතුමාගේ පුද්ගලික සංවිධානත්වය යටතේ, ඒ සියල්ල නිසි පරිදි නිම කෙළේය.එසේක යක්කඩුවේ නායක මාහිමියන්ගේ චරිතයටත්, අදහස්වලටත්, තැනටත් අවස්තාවටත් යෝග්‍ය පරිදි චාම් වුත්, උදාරවුත් කලාත්මක චිතකයක් පුජ්‍ය මාපලගම විපුලසාර හිමියන් විසින් මහත් භක්ත්‍යාදරයෙන් නිර්මාණය කරන ලදී.

මහා නායක ස්වාමින්ද්‍ර ප්‍රමුක මහා සංඝයා වහන්සේත්, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන  මැතිතුමා සහ අග්‍රාමාත්‍ය ආර්.ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුක ඇති විශාල සම්භාවනීය බෞද්ධාබෞද්ධ මහා ජනකායකුත් මධ්‍යයේ විද්‍යාලංකාර පරිවෙනාධිපතිව වැඩ විසු පුජ්‍යපාද යක්කඩුවේ ශ්‍රී පඥා රාම කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආදාහන පුජාව 1986 මාර්තු 6 වැනිදා රාජ්‍ය ගෞරව සහිතව අත්‍යක්රුෂ්ට ලෙස පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් භුමියේ නව ආදාහන මළුවේදී පවත්වන ලදී.


අපේ යක්කඩුවේ හාමුදුරුවන්ට අමා මහා නිවන් සැප ලැබේවා !

ආචාර්ය වල්පොල රාහුළ හිමියන් විසින් 1987 වසරේදී ලිවූ ලිපියකි.

Yakkaduwe-Divider

වතගොත

උපත – 1907 මැයි 20

පවුලේ තොරතුරු – සය දෙනෙකුගෙන් යුතු පවුලක තුන්වැනියා ය.

පැවිදිවීම – 1918 දී

ආචාර්යවරයාණෝ – බටපොත ශ්‍රී ඝනානන්ද පොත්ගුල් විහාරාධිපති බටපොත සාරානන්ද හිමි

උපාධ්‍යායයාණෝ – පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ලුණු පොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමි

උපසම්පදාව – 1928 දී

අධ්‍යාපනය ලැබු ආයතන – නිවන්දම රජයේ පාසල, දොරණෑගොඩ පිරිවෙන, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන

සමත් වූ විභාග – 1924 දී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් ලංකාවේ පළමුවැනියා වීම (සමත් වූ එක ම ප්‍රසිද්ධ විභාගය)

ශාසනික හා සමාජ සේවා

* 1938 කැලණිය ධර්මාලෝක විදුහල ආරම්භ කිරීම.

* 1948 ගුරුකුල විදුහල ආරම්භ කිරීම.

* 1950 ත්‍රිපිටක ධර්ම සංඝායනාවක් පැවැත්වීම.

* 1959 විද්‍යාලංකාර පිරිවෙන විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමේ කාර්යයේ ප්‍රමුඛ වීම.

* 1980 විද්‍යාලංකාර පිරිවෙන ප්‍රතිසංස්කරණය කර පෑලියගොඩ මුල් භූමියේ නැවත ආරම්භ කිරීම.

* 1982 වීරහේන විද්‍යාරත්න පිරිවෙන නැවත ආරම්භ කිරීම.

* 1982 අවසන් වරට කුල දරුවන් පැවිදි කිරීම.

සාහිත්‍ය සේවා

* 1946 සමන්නේසනා සහිත මජ්ඣිම නිකාය

* 1947 වනකතා 1 මිතුරන් කෙටවීම, 2 මිතුරන්ගේ අගේ

* 1957 සඟි බණ

* 1958 භක්ති ගීත (පළමුවෙනි රැය)

* 1958 ගුත්තිල විචාර විචාරය 1

* 1959 ගුත්තිල විචාර විචාරය 2

* 1970 අපේ ගමන්මග

* 1976 භව තරණ මග හා බුද්ධ චරිතය 1

* 1978 භව තරණ මග හා බුද්ධ චරිතය (අත්පොත)

* 1982 භව තරණ මග හා බුද්ධ චරිතය 2

ලැබු තනතුරු

* 1928 විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය ධුරය

* 1934 විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්ෂ ධුරය

* 1955 විද්‍යාලංකාර පිරිවෙනේ උප පරිවේණාධිපති ධුරය

* 1959 විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරය

* 1959 විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ ධුරය

* 1966 විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරය

* 1970 කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය “ධර්ම කීර්ති ශ්‍රී” ගෞරව නාම සහිතව ලදහ.

අපවත්වීම – 1986 මාර්තු 01 දින

Yakkaduwe-Divider

ර්ම කීර්ති ශ්‍රී උපාධ්‍යාය ධුරන්ධර සාහිත්‍ය කීර්ති සාහිත්‍ය චක්‍රවර්ති යක්කඩුවේ ප්‍රඥාරාම නායක හාමුදුරුවන් වහන්සේ හිස රැවුල් බාන්නේ එය නොකර ම බැරි වූ විට පමණි. තනතුරු, ගරු නාමවලට වඩා තමන් කළ යුතු දේ කුමක් ද යන්න පිළිබඳවයි උන්වහන්සේ කල්පනා කළේ. තනතුරු ලැබීම අපායගාමී බවයි උන්වහන්සේ දුටුවේ.

අපායට යන්න ඕනෑනම් උඹට
කරපන් මහ ඇමතිකම එක දවසකට
නැත්නම් පන්සලක දේවාලයක
අධිපතිකම කරපන් තුන් දවසකට”

මේ නිසාම දෝ උන්වහන්සේ බොහෝ තීරණ ගෙන කටයුතු සංවිධානය කර ඒවා සමාජගත කරන්නේ වෙනත් අය හරහා ය. විද්‍යාලංකාර පිරිවෙනේ උපාධි ප්‍රදානෝත්සවයට පැමිණි හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය සර්වේපල්ලි රාධා කෘෂ්ණන් මහතා යක්කඩුවේ හාමුදුරුවෝ හමු වී “අත්තිවාරම නොපෙනෙයි, පිටතට පෙනෙන්නේ ගොඩනැගිල්ල යි” යනුවෙන් ප්‍රකාශ කළේ ඉහත කරුණ සපථ කරමිනි.

උන්වහන්සේ ගේ ජීවිතය අන් කිසිවකුගේ ජීවිතයකට සමාන නැත. එ මෙන් ම කිසිවකුට එසේ කටයුතු කළ හැකි වන්නේ ද නැත. දිනක් උන්වහන්සේ දිවයින පුවත්පතට තමන් වහන්සේගේ ජීවිතය පිළිබඳ මෙ වැනි ප්‍රකාශයක් කර තිබිණි. “මගේ ජීවිතේ ඔක්කොම ඇක්සිඩන්ට්.” සියල්ල සිදුවී ඇත්තේ අහම්බෙනි, එහෙත් ඒ බොහෝ අහම්බයන්ට උන්වහන්සේගේ කැපවීම ද සම්මිශ්‍රණය වී ඇති බව උන්වහන්සේ කියා ගත්තේ නැත.

දිනක් වයස අවුරුදු එකොළහක පමණ කොලු ගැටයෙක් යක්කඩුවේ සිට උග්ගල්බොඩ තම මවගේ මහගෙදර යාමට පිටත් වුණා. මග දී රෑ බෝ වූ නිසා පාර සොයාගත නොහැකි ව අතරමං වූ ඔහුට පාර සොයා දීමට තවත් සගයන් දෙදෙනෙක් හමුවුණා. ඒ දිනවල මේ ගමේ ගෙවල් කීපයක් සොරු බිඳ තිබු නිසා ගැමියන් තියා පන්සලේ හාමුදුරුවන් පවා නිතර සිටියේ සැකයෙනි.

තිදෙනා බටපොත ශ්‍රී ඝනානන්ද පොත්ගුල් විහාරය අසලින් යත් ම එහි විහාරාධිපති බටපොත සාරානන්ද ලොකු හාමුදුරුවෝ එළියට බැස “උඹල කොහෙද යන්නෙ?” යි තදින් ඇසී ය. ලොකු හාමුදුරුවන්ගේ හැටි දන්නා සගයන් දෙදෙනා වහා පළා ගියේ ය. පුංචි කොලු ගැටයාට කරකියා ගත හැකි දෙයක් නොවූ නිසා හිමියන්ට වැඳ “මහණ වෙන්නයි ආවේ” කී ය. බටපොත හිමියෝ සුදුසු වේලාවක් බලා යක්කඩුවේ ප්‍රඥාරාම නමින් ඔහු පැවිදි කළ සේක.

ප්‍රඥාරාම පොඩි හාමුදුරුවන්ට ටික කලක් යන විට දොරණෑගොඩ පිරිවෙනට බක්කි කරත්තයෙන් ගොස් ඉගෙන ගැනීම එපා විය. අවශ්‍ය වූයේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ගොස් ඉගෙන ගැනීම යි. ඒ නිසා මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට යාමට අවස්ථාවක් ලැබී ලොකු හාමුදුරුවන්ටත් නොකියා පොත් මිටිය ගෙන කෝච්චියෙන් විද්‍යෝදය පිරිවෙන වෙත වැඩියේ ය. එහිදී විලිඹුල පඤ්ඤානන්ද හිමියන් පොඩි හාමුදුරුවන්ට හමුවිය. කතාවට වැටුණු ප්‍රඥාරාම පොඩි හිමියන් සියලු විස්තර විලිඹුල හිමි සමඟ කීවේ ය. විලිඹුල හිමියන් ප්‍රඥාරාම පොඩි හාමුදුරුවන් විද්‍යාලංකාරයට රැගෙනවිත් එහි අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාකර දුන්නේ ය.

වල්පොළ රාහුල හාමුදුරුවෝ “ලක්දිව බුදු සසුනේ ඉතිහාසය” කෘතිය ලියන කාලයේ උන්වහන්සේට අටුවා ග්‍රන්ථවල සඳහන් වන ලංකාවේ බුද්ධාගම, සිරිත් විරිත්, උත්සව හා සමාජයේ විවිධ තොරතුරු අවශ්‍ය වී තිබුණි. දිනක් රාහුල හිමියෝ එය යක්කඩුවේ හාමුදුරුවන්ට පැවසූහ. ගතවූයේ සති එකහමාරකි. මෙතරම් කාර්යය බහුල යක්කඩුවේ නාහිමි අටුවා පොත් කන්දක් රැගෙන රාහුල හිමියන්ගේ කාමරයට වැඩියි. ඒ සියලු අටුවා ග්‍රන්ථවල රාහුල හිමියන්ට අවශ්‍ය කරුණු සඳහන් ව ඇති තැන් පැන්සලෙන් සලකුණු කර සොයා ගැනීමට පහසු ලෙස කඩදාසි කැබලි දමා තිබුණි.

එමෙන් ම 2500 වැනි බුද්ධ ජයන්තියට ආසන්න ව දිනක් වෙනදා මෙන් ම නායක හාමුදුරුවන්ගේ කාමරයට කොස්ගොඩ ධම්මවංශ හිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි, නාත්තන්ඩියේ පඤ්ඤාකර හිමි සහ කුඩිරිප්පුවේ පඤ්ඤාසේකර හිමිත් වැඩියහ. සියලු දෙනා වහන්සේලා එකතු වී ගිලන්පස කෝප්පයක් වළඳන ගමන් නායක හාමුදුරුවෝ තමන්ගේ සිතේ් තිබු අදහසක් ප්‍රකාශ කළහ. “2500 වැනි බුද්ධ ජයන්තියට භක්ති ගීත 2500 ක් ලියන්න මට හිතේ තියනවා.

” කුඩිරිප්පුවේ පඤ්ඤාසේකර හිමියන් ප්‍රති උත්තර දෙමින් “මේ වැඩ මැද්දෙ ඕක කරන්නෙ කොහොමද? නායක හාමුදුරුවන්ට ඕව ලියන්න වෙලාවක් තියනව යැ” කීහ. “ඇයි එහෙම කියන්නෙ? හොඳයි බලමුකො” කියා නායක හාමුදුරුවෝ නිහඬ විය. පසුදා උදේ වන විට පාලියෙන් භක්ති ගී දෙසියපනහක් ලියා ඒවා සිංහල ගීවලට පරිවර්තනය කර ගී සහ ගාථා පන්සියයක් නිර්මාණය කර අවසන් ය.

උන්වහන්සේ ප්‍රසිද්ධ දේශනවලට හෝ වාද විවාදවලට නොගියත් කිසිදු බලවේගයකට බිය වූයේ නැත. 1946 මුලදී භික්ෂුන්වහන්සේලා දේශපාලනය වැනි මහජන කටයුතුවල නොයෙදිය යුතු යැයි ප්‍රබල දේශපාලන නායකයෝ කීහ. මේ කතාවත් සමඟ රටේ ප්‍රගතිශීලී ගිහි පිරිස් දෙකොටසකට බෙදෙන්න විය. ඒ නිසා මේ පිළිබඳ විද්‍යාලංකාරයේ මතය ප්‍රකාශ කළ යුතුව තිබුණි. ඒ වන විට විද්‍යාලංකාර පරිවේණාධිපති වූයේ කිරිවත්තුඩුවේ නායක හිමියෝය.

උන්වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් මේ ප්‍රකාශය ඉදිරිපත් කළේ යක්කඩුවේ නායක හාමුදුරුවෝයි. “භික්ෂු ජීවිතයට කැළැල් නොවන පරිද්දෙන් අපේ රට වැසියාගේ යහපතට හේතු වන යම් වැඩ පිළිවෙළක් වේ නම්, එහි නම දේශපාලනය හෝ වේවා කුමක් වේවා එහි යෙදීම භික්ෂුවට සුදුසු ම ය.” යන්න විද්‍යාලංකාරයේ තීරණය විය. මේ තීරණය 1946 පෙබරවාරි 13 ආචාර්ය මණ්ඩල රැස්වීමේදී ඒකච්ඡන්දයෙන් සම්මත වී නිකුත් කරන ලදී. එහෙත් සිදු වූයේ වෙනකකි.

ඒ ප්‍රකාශය තව තවත් මතභේදයට තුඩු දෙන්නක් විය. විද්‍යාලංකාර සභාවේ සභාපති නිකලස් ආටිගල මහතා මේ භේදය සංසිඳුවාලන්නට එදා බලසම්පන්න ව සිටි ජන ප්‍රධානියකුත් සභාවේ කාරක මණ්ඩලයත් කැඳවා සාකච්ඡා කළේ ය.

එහිදී ඒ ජන ප්‍රධානියා ගෙන ආ තර්ක සියල්ල හික්කඩුවේ හිමි අතින් බිඳී ගියේ ය. ඒ නිසා ඔහු මඳක් ආවේගශීලි වී “මේ ව්‍යාපාරය පටන් අරන් තියෙන්නෙ අපේ වරිගෙ නැති කරන්නයි. මං කොහොමහරි ඒක රැක ගන්නවා. මට කනගාටු මේ ව්‍යාපාරයෙන් බුද්ධශාසනේත් විද්‍යාලංකාර පිරිවෙනත් නැතිවෙන එකට යි” ලෙස කියාගෙන ගියේ ය. යක්කඩුවේ නාහිමි වහා නැගී සිටියේ ය. හිමින් සීරුවේ මිදුලට බැස මුඛයේ වූ බුලත් කෙළ මුදා හැර “ඈ ඇමතිතුමෝ, ඉතින් ඔය වරිගෙ මැතිතුමා රැක ගන්නවා නොවැ. මහා නායක හාමුදුරුවරු බුද්ධ ශාසනේ රැක ගනී. විද්‍යාලංකාර පිරිවෙන අපි රැක ගන්නම්, එතකොට මේ ව්‍යාපාරෙන් කාටවත් වරදක් වෙන්නෙ නෑ නොවැ.” යැයි කීහ.

එදා සිට ධනවතුන් බලවත්හු විද්‍යාලංකාරය කෙරෙහි උරණ වූහ. බලපුළුවන් කාරයන් මේ නිසා පිරිවෙනට ලැබෙන දානය වැළැක්වීය. එදින වුව යක්කඩුවේ හාමුදුරුවෝ කලබල නොවූහ. උන්වහන්සේ සතුව තිබු රුපියල් හතක මුදලත් වල්පොළ රාහුල හිමි අත තිබු රුපියල් පහක මුදලත් කලල්ඇල්ලේ සාගර හිමි ළඟ තිබු රුපියල් දහයක මුදලත් එකතු කර තොරණ හන්දියේ හා පට්ටිය හන්දියේ තිබු කඩවලින් ලබාගත් බනිස් බිස්කට් ආදි කෙටි කෑම වලින් පළමු දිනය ගත විය.

පසුදා ද නායක හිමියන්ට දානය සකස් කර ගැනීමට ද උනන්දුවක් තිබුණේ නැත. වේලාව පෙරවරු දහයහමාර පමණ වන විට හේවිසි හඬ මධ්‍යයේ මහා පෙරහරකින් විද්‍යාලංකාර පිරිවෙනේ මහ සඟනට මහදන් පවත්වන්නෝ ඒ පෙරහරේ දාන හට්ටි කත් බැඳගෙන පැමිණෙති. නායක හිමියන්ට එය අරුමයක් නොවී ය. කෙසේ වෙතත් බලවතුන්ගේ මේ හැරයාම උන්වහන්සේගේ ජීවිතයේ තවත් පිටුවක් පෙරැළී ය. පිරිවෙනේ නඩත්තුවට මුදල් හිඟවීම නිසා උන්වහන්සේ “වන කතා” කෘතිය ලියා මුද්‍රණය කොට එහි ආදායමෙන් පිරිවෙනේ නඩත්තු කටයුතු කරගෙන ගියේ ය. එහෙත් එකල බලධාරීන් ඒ කෘතියෙන් අගමැතිට විරුද්ධව පොතක් ලියා ඇතැයි කියා තහනම් කළේ ය.

දිනක් රෑ බෝවී කොළඹ සිට පෑලියගොඩ බලා යක්කඩුවේ හාමුදුරුවෝත් මාදෝවිට ඤාණානන්ද හාමුදුරුවෝත්, වල්පොළ රාහුල හිමියෝත් මෝටර් රථයෙන් පැමිණෙමින් සිටියේ ය. එච්. ඇම්. තිසේරා මහතා රියැදුරු අසුනේ විය. කැලණි පාලම අසල දී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී මෝටර් රථය පොඩි වී පෙරැළී ගියේ ය. අවට සිටි පිරිස වහා ක්‍රියාත්මක වී මෝටර් රථයේ උඩට හැරී ගිය දොරක් විවර කර හිමිවරුන් හා රියැදුරු එළියට ගත්තේ ය.

මෝටර් රථය කුඩුපට්ටම් වී ඇත. හිමිවරුන්ට සීරීම් තුවාලයක්වත් නැත. මොහොතකින් වල්පොළ රාහුල හිමි වටපිට බලන විට යක්කඩුවේ නාහිමියන් පාරේ කොනකට ගොස් අංසකඩයෙන් බුලත්විටක් ගෙන හපමින් සිටී. හීන් සීරුවේ වල්පොළ රාහුල හිමියන්ට කිට්ටු වූ නායක හාමුදුරුවෝ “මගේ හිතේ අපේ ජීවිතෙන් මොකක් හරි වටිනා වැඩක් කෙරෙන්න තිබෙනවා වෙන්න ඇති.” ලෙස කනට කර කීවේය. එදා දිවි ගැලවුණේ සැබැවින් ම රටට ලෝකයට ඒ උදාර චරිතයෙන් තව බොහෝ දේ දායාද කරලීමට ය. ඒ උදාර සේවය ලියා අවසන් කිරීමට පිටු කොපමණක් සෑහේ ද?

බුද්ධික සමන් ගුණවර්ධන 2010-08-01 දින සිළුමිණ පුවත්පතට ලිවූ ලිපියකි

Advertisements