අමරපුර නිකාය (1803 )

සිරිලක අමරපුර භික්‍ෂු වංශය ආරම්භ වන්නේ රාජ්‍ය වර්ෂ 1803 මැයි 15 වන දිනයේදී බලපිටියේ වැලිගග හෙවත් මාදු නදියේ ඉදිකළ උදකුක්ඛේප සීමා මාලකයේ දී මහාධම්ම රාජාධිරාජගුරු වැලිතර ඤාණවිමල තිස්ස මහ හිමිපාණන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු ප්‍රථම උපසම්පදාවත් සමඟය. එසේ ආරම්භ වී ගෙවී ගිය ඉතිහාසයට මෙම වසරේ මැයි 15 වන දිනට වසර 214 ක් සපිරිණි.

aMARAPURAවැලිතර ඤාණවිමල තිස්ස මා හිමිපාණන් වහන්සේ බුරුම දේශයට වැඩම කර ආපසු ලක්දිවට පැමිණීමෙන් පසු හතර වරකදී තවත් සිව් නමක් බුරුම දේශයට වැඩමකර උපසම්පදාව ලබාගෙන ආපසු වැඩමවා අමරපුර භික්‍ෂු වංශය සවිබල ගන්වන්නට උනන්දු විය. මෙසේ බුරුමයේ අමරපුර බලාවැඩම කළ ස්වාමීන් වහන්සේ සිව් දෙනා නම් 
1. කපුගම සිරි ධම්මක්‍ඛන්ධ මා හිමි (බු ව 2346-2378)
2. බෝගහපිටියේ ධම්මජෝති මා හිමි (උඩරට අමරපුර භික්‍ෂු වංශයේ ආදි කර්තෘ) (බු.ව.2349-2412)
3. අත්තුඩාවේ ධම්මරක්ඛිත මා හිමි (අමරපුර ධර්මරක්‍ෂිත වංශයේ ආදී කර්තෘ) – බු.ව.2351-2377)
4. කතළුවේ ශ්‍රී ගුණරතන මා හිමි (කල්‍යාණවංශයේ ආදි කර්තෘ හිමි)බු.ව. 2354 – 2376
5. වැලිතර ඥානවිමල මා හිමි  (බු.ව. 2346 – 2378)
සිව් වාරයකදී බුරුම දේශයට වැඩමකර උපසම්පදාව ලබා නැවත ලක්දිවට වැඩමවා අමරපුර භික්‍ෂු වංශය සවිමත් කළ මෙම යතිවරුන් වහන්සේලා , අමරපුර සමාගම, වශයෙන් මුල් කාලයේ සිය භික්‍ෂු වංශය පවත්වාගෙන යන ලදී.

 

 

මේ හිමිවරුන්ගෙන් පැවත එන පසුකාලීන භික්‍ෂූන් වහන්සේ නොයෙකුත් හේතුන් මත වෙන වෙනම පාර්ශ්ව වශයෙන් බෙදී ගියද මේ වන විට එකම සංඝ සභාවක් ලෙස තීන්දු තීරණ ගනිමින් සමඟිව කටයුතු කිරීමෙහි යෙදී ඇත. ඒ අනුව අනු නිකායන් හා පාර්ශ්ව වශයෙන් කොටස් 22 ක් ඇති අමරපුර මහ සංඝ සභාව උත්තරීතර මහා නායක මා හිමිනමක් යටතේ පාලනය වේ.

අමරපුර භික්‍ෂු වංශයේ දෙවනවරට උපසම්පදාව ලබා ලක්දිවට වැඩම කළ කපුගම ශ්‍රී ධම්මක්‍ඛන්ධ මාහිමිපාණන් වහන්සේ බුරුම දේශයේ සිට වැඩම කර මෙම වසරට අවුරුදු 214 ක් සැපිරීම සිදුවේ. එමෙන්ම උන්වහන්සේ ලංකාද්වීපයට සැපත් වූයේ ලක්දිව අමරපුර භික්‍ෂු වංශයේ සංඝරාජ පදවිය සහිත ‘ධම්මසේනාපති සීහල මහ ධම්ම රාජගුරු’ යන ගෞරව නාමයද ලබාගෙන වීම විශේෂ සිද්ධියකි. උන්වහන්සේගෙන් ඇරඹුන සඟපරපුර පසු කළෙක අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය ලෙස නම්කර මේ වනතුර පවත්වාගෙන එයි.

මේ අනුව අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායට අයත්වන මහසඟ පරපුරේ මුල් සංඝපීතෘවරයා වන අමරපුර භික්‍ෂු වංශයේ ධම්ම සේනාපති කපුගම සිරි ධම්මක්‍ඛන්ධ සීහල මහා ධම්ම රාජගුරු මා හිමිපාණන් වහන්සේ උපසම්පදාව ලබා සංඝරාජ පදවිය සහිතව ලක්දිවට වැඩම කිරීම සිදුවුන මෙම ඓතිහාසික අවස්ථාවේ දී එම මහානිකායේ ඉතිහාසයද මහ තෙරවරුන් ද අනුස්මරණය කිරීම කාලෝචිත ය.

1.කපුගම ශ්‍රී ධම්මක්‍ඛන්ධ මහා ස්වාමින් වහන්සේ

දක්‍ෂිණ ලංකාවේ මාතර දිසාවේ දෙවිනුවර නගරයට ආසන්නයේ පිහිටි කපුගම නම් ගම්මානය බොදුනුවන්ට සෙවනදුන් ගම්මානයකි. මෙම ගමේ විසූ බෝදාදුර දිනේස් ද සිල්වා උපාසක මහත්මාට සහ ජයසිංහ කළුහාමි උපාසිකා මාතාවට 1768 උපන් පුත් කුමරෙකු ‘නදෝරිස්’ යන නමින් හැඳින්විණි. කුඩා කාලයෙහි සිටම ගාථා පාඨ හා කවි සීලෝ කීමට දක්‍ෂකම් දැක් වූ එම දරුවා එම වයසේ අනෙක් අයට වඩා විශේෂ ගතිගුණ වලින් යුත් අයෙකු විය.

දිනක් ගිරුවාපත්තුවේ පැවැති රාජකාරියක් සඳහා ගොස් එන අතරේ දී අවශ්‍යතාවයකට කපුගමට ගිය ගාල්ල දඩල්ලේ රාජපක්‍ෂ වලව්වේ විසූ අදිරියන් ද ආබ්‍රේම් රාජපක්‍ෂ මහ මුදලිතුමන්ට මේ කවි ගී සිලෝ ගාථා පාඨ කියමින් දුව පැන නටන දරුවා දකින්නට ලැබිණි. එම දරුවාගේ හැකියාවන් දැක පුදුම වූ මෙම මුදලිවරයා මෙම දරුවා නම් සුදුසු ගෙදරකට නොව පන්සලක පැවිදි කරවන්නට යැයි පවසා මවුපියන් හමු වී දරුවා ඉල්ලාගෙන ඔහුගේ බාරකාරත්වය ද තමාට පවරාගෙන රැගෙන ආවේ දඩල්ලේ සිය වලව්වටය. මෙසේ ගෙනආ එම කුඩා දරුවා රැගෙන පියදිගම පුරාණ පිරිවෙන් විහාරයට ගිය රාජපක්‍ෂ මුදලිවරයා ආරාමයේ ප්‍රධාන නායක හිමියන්ට සියලු පුවත් පවසා මෙම ළමයා ශබ්ද ශාස්ත්‍රාදිය උගන්වා පැවිදි කරවන ලෙස ඉල්ලා සිටියේ සියලු වගකීම් හා භාරකාරත්වය තමා උසුලන බව පවසමිනි.

එදා ජන ප්‍රධානියෙක් වූ රාජපක්‍ෂ මුදලිවරයාගේ ඉල්ලීමත් අනුග්‍රහයත් ඉතා අගයකළ එම හිමිපාණන් වහන්සේ දරුවාට මූලික ඇවැතුම් පැවැතුම් ද උගන්වා 1780 දී පැවිදි දිවියට ඇතුළත් කළේ ‘කපුගම ධම්මක්ඛන්ධ’ යන නාමයෙනි. එකළ පහතරට ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතුවල යෙදී උගන්වන ලද විශාල දැනුමක් ඇති ගිහි ගුරුවරුන් දෙදෙනෙකු ජීවත් විය. එක් අයෙක් ගාලු දිසාවේ සිටි වීරගුලේ ගුරුතුමා වන අතර අනෙක් තැනැත්තා මාතර දිසාවේ සිටි වල්පොල ගුරුතුමා වේ. ටික කාලයක් පැවිදිව සිට උපැවිදි වූ වල්පොල ගුරුතුමා ධම්මක්‍ඛන්ධ හිමියන්ගේ ප්‍රධාන ගුරුවරයා විය. වල්පොල ගුරුතුමාගෙන් සිංහල, පාලි, සංස්කෘත භාෂාද ව්‍යාකරණ ඡන්දස් අලංකාර ද ඉගෙන ගත් ධම්මක්ඛන්ධ හිමියන් සැබෑ පඬිවරයෙක් බවට පත් විය. මේ සියල්ල දුටු රාජපක්‍ෂ මුදලිවරයා ධම්මක්‍ඛන්ධ හිමියන්ට පුත්‍ර ස්නේහයෙන් ගරු සැලකිළි දැක් වූ අතර නිසි වයස් එළඹ කල්හි අධිසිල් ලබා ගැනීමටද අවශ්‍ය කටයුතු සංවිධානය කරන ලදී. ඒ අනුව සිටිනාමළුවේ ධම්මජෝති මා හිමියන්ගේ ශිෂ්‍යයෙකු වන උගත් පඬිවරයෙකු ද වූ දික්වැල්ලේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පංච වර්ගික භික්‍ෂූන් වහන්සේ එක්ව ශ්‍රී රාහුල සංඝරාජයාණන් වහන්සේ වැඩ සිටි තොටගමු රාජ මහා විහර බද්ධ සීමා මාලකයේදී කපුගම ධම්මක්‍ඛන්ධ, ධම්මධජ, ගුණරත්න යන ස්වාමීන් වහන්සේ ලා තෙනමට සියම් මහා නිකායේ පැවිදි උපසම්පදාව හිමිවිය. මෙයින් ටික කලකට පසු ධම්මකඛන්ධ හිමියෝ යළිත් වරක් අධිශීලයෙහි පිහිටීම සඳහා සූදානම් විය. මේ අනුව සියම් මහා නිකායේ පහත රට සංඝනායකව වැඩ සිටි මිදිගම ධම්මානන්ද මා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් යළිත් වරක් 1797 දී තංගල්ලේ උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවිදි උපසම්පදාව ලබා ගත්හ. එයින් පසු ගාල්ලේ දඩල්ල වාළුකාරාමයට වැඩමවා එහි වාසය කරමින් ලෝක ශාසන සේවායේ යෙදුණු කපුගම ධම්මක්‍ඛන්ධ මාහිමියන්ගේ සිල්වත් බව ගුණවත්බව පරිපාලන දක්‍ෂතාවය ගිහි සමාජය තුළ තිබෙන බලය ආදිය ගැන සිතයෙදූ මිදිගම ධම්මනන්ද මා හිමියෝ තමා වයස්ගතව සිටින හෙයින් තමා දරන සංඝනායක පදවිය මෙම කපුගම ධම්මක්‍ඛන්ධ හිමියන්ට පවරන්නට සිතා උන්වහන්සේ ගෙන්වා සිය අදහස පවසා එම පදවිය 1804 දී මිදිගම නා හිමියන් විසින් කපුගම මා හිමියන්ට පවරන්නට යෙදුණි.

මෙම පදවිය කපුගම හිමියන්ට පැවරෙන විට වැලිතර ඤාණවිමල තිස්ස මා හිමියෝ අමරපුර උපසම්පදාව මෙරටට ගෙනවුත් අමරපුර උපසම්පදාව ව්‍යාප්ත කරමින් සිටින වකවානුවය. කපුගම හිමියෝ තමන් වහන්සේ ද අමරපුරයට ගොස් අධිසිල් ලබා ගෙන ආයුතු යැයි කල්පනා කර සිය අදහස දඩල්ල රාජපක්‍ෂ වලව්වේ කැපකරු දායකයන්ට පැවසූ හෙයින් ඊට බොහෝ සෙයින් කැමැත්ත පළකළ කළුහත් අදිරියන් ද ආබ්‍රේව් රාජපක්‍ෂ මහ මුදලිතුමා ගමනට අවශ්‍ය සියලු භාණ්ඩ රැස් කරවා බුරුම සංඝරාජ හිමියන්ට පිරිනැමීම සඳහා ඇත්දළ ආදී වටිනා ත්‍යාග ආදියද රැස්කරවා 1807 දී ගාලු වරායෙන් කපුගම හිමියන් ඇතුළු තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් බුරුම දේශය බලා පිටත්කර යැවූහ.

බුරුම දේශයට ගිය ධම්මක්ඛන්ධ මා හිමියන් ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා ඉතා ගෞරවයෙන් පිළිගත් බුරුම සංඝරාජ මාහිමිපාණන් වහන්සේ ඇතුළු පිරිස එම රටේ වැඩ වාසය කරමින් ඉගෙන ගත යුතු දේ හැදෑරීමෙන් පසු 1809 දී දුරුතු මස කාල පක්‍ෂයේ දසවෙනි දින ඤාණභිවංශ ධම්ම සේනාපති මහ ධම්ම රාජාධිරාජගුරු සංඝරාජ මහ හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝයාවෙතින් කපුගම මා හිමියන් ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලා උපසම්පදා භූමියට ඇතුළත් කරන්නට යෙදුණි.

අනතුරුව ලක්දිවට ආපසු වැඩම කිරීමට සූදානම් වෙද්දී කපුගම මා හිමියන්ගේ ව්‍යක්ත බව පාණ්ඩිත්‍ය ආදි සියල්ල ගැන ද කලින් දැරු සංඝනායක පදවිය ද ගැන පැහැදුණු බුරුම දේශයේ ඉහතකී සංඝරාජ මහ හිමිපාණන් වහන්සේ කපුගම මා හිමියන්ට සංඝරාජ තනතුර ද සමඟ ධම්මසේනාපති සීහල මහා ධම්මරාජගුරු යන ගෞරවතාවය ද පිරිනමා උපහාර දැක්වීය. මේ පිළිබඳව විශේෂ සංදේශයක් ද පිරිනැමූ අතර ඒ සියල්ල ද රැගෙන බුරුම දේශයෙන් නික්මුණු කපුගම මා හිමි ඇතුළු පිරිස 1810 දී ශ්‍රී ලංකාද්වීපයට වැඩමකොට දඩල්ලේ වාළුකාරාමයේ සිට ලෝ සසුන් වැඩ වඩන්නට වූහ.

මේ යුගයේ දී උඩරට රාජ්‍ය සමග ඉංගී‍්‍රසීන් පවත්වාගෙන ගිය යුද තත්ත්වයන් නිසා ගෙන ආ සංදේශ ආදිය ද රාජ්‍ය තිළිණ ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන් වෙත පිරිනමන්නට නොහැකි වූ අතර පසුව ඉංගී‍්‍රසි ආණ්ඩුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සියල්ල පිළිගෙන අනුමත කළ ලංකා ආණ්ඩුකාරවරයා 1814 ජනවාරි මස 4 වන දින සිය මහලේකම් වූ ජෝන් රොඩ්නි මහතාගේ නමින් අවශ්‍ය බලපත්‍රයක් පිරිනමා සියලු බලතල හා තනතුරු පිළිගෙන අනුමත කළහ.

අමරපුර සිරි සද්ධම්මවංශ මහ නිකාය බිහිවීම සහ එහි ආදි කතුවරයාණෝ

1848 දී අමරපුර සමාගමේ ඇති වූ භේදභින්නතාවය විවාදයක් බවට පත්විය. “සීමා සංකර වාදය” වශයෙන් හැඳින් වූ එම මත භේදය නිසා වැදගත් ග්‍රන්ථ කිහිපයක් ද ලියා පළ කරන්නට හේතුවිය. උපසම්පදා විනය කර්මයකදී ඊට යොදාගත් බලපිටි මෝදර උදකුක්ඛේප සීමා මාලකය සංකර වූ නිසා උපසම්පදාව නිවැරැදිව නොකෙරුනා යැයි අදහස් ඉදිරිපත් කළ ලංකාගොඩ සිරි ධීරානන්ද මා හිමියන්ගේ අදහස පිරිසක් පිළි නොගත් නිසා ඇති වූ එම මතභේදය අවසන් වූයේ ලංකාගොඩ ධීරානන්ද මා හිමියන් ඇතුළු පිරිසක් අමරපුර සමාගමෙන් වෙන්ව එහි වෙනම පාර්ශ්වයක් ලෙස පෙනී සිටීමෙන් ය. ලංකාගොඩ ධීරානන්ද මා හිමියන්ගේ අපවත්වීම 1871 ජනවාරි මස 25 වන දින සිදු වුන අතර 1871 පෙබරවාරි මසදී අහුන්ගල්ල වැලිකන්දේ ශ්‍රී සුදර්ශනාරාමයට එක් වූ ලංකාගොඩ නා හිමියන් නියෝජනය කළ පාර්ශ්වයේ ස්වාමීන් වහන්සේලා සිය පාර්ශ්වය ‘අමරපුර සමාගමේ සද්ධම්මවංශික නිකාය’ ලෙස නම් කර කටයුතු කරන්නට තීරණය කළහ. එහිදී නිකායේ ප්‍රථම මහා නායක පදවියට පත්කර ගන්නා ලද්දේ මාතර –කරපුටුගල ධම්මදින්න මහා හිමිපාණන් වහන්සේය.

එතැන් සිට අඛණ්ඩව මේ දක්වා වසර 139 තිස්සේ පවත්වාගෙන ආ අමරපුර සිරි සද්ධම්මවංශ මහ නිකාය මේ වන විට විහාරස්ථාන හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ඇති ස්වාමීන් වහන්සේලා දෙදහසකට අධික ප්‍රමාණයක් වැඩ වාසය කරන ලක්දිව පුරා පැතිරී ගිය නිකායක් බවට පත්ව ඇත. විදේශීය වශයෙන් ද ඉදි වූ වෙහෙර විහාර ස්ථාන වලින් සමන්විත මෙම සද්ධම්ම වංශ මහා නිකාය තුළ විදේශීය පිරිස් ද පැවිදිව සිට ලෝක ශාසන සේවයේ යෙදී ඇත.

ඒ අනුව සියම් දේශයේ (තායිලන්තය) රජ කුමරෙකු වූ පි‍්‍රස්ඩම් රාජ කුමාරයා ලක්දිවට පැමිණ ‘ජිනවරවංශ’ නමින් පැවිදි වූයේ වස්කඩුවේ ශ්‍රී සුභූති මහා හිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස ය. ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් ද ප්‍රථමයෙන් පැවිදි වූයේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රත්ගම චූල සුමන නා හිමියන් වෙතින් ය.

ලංකාලෝකය නිර්මාණය කළ බුලත්ගම ධම්මාලංකාර මාහිමි, වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මා හිමි, රාජගුරු වස්කඩුවේ සිරි සුභූති මහ නාහිමි, කොස්ගොඩ ධම්මවංශ මහ නා හිමි, තලල්ලේ ධම්මානන්ද මා හිමි හා අමරපුර සංඝ සභාව ගොඩ නඟන්නට මූලිකවම සිය කාලය ධනය වැය කළහ. ඒ සඳහා වෙහෙසුන කොස්ගොඩ පඤ්ඤාසීහ මා හිමියන් ආදී මහ සඟරුවන අමරපුර මහ නිකාය ශෝභමානවත් කළ මහ තෙර වරුන් වහන්සේලා අතර වේ.

ලංකාවේ ප්‍රථම ලියාපදිංචි කළ ග්‍රන්ථය වූ ‘සීමානය දස්සන’ ලියූ රන්දොඹේ ධම්මාලංකාර මා හිමි නිකායේ දෙවෙනි මහානායක මා හිමිපාණන් වහන්සේ වූ අතර ජාතික ආගමික පුනරුද ව්‍යාපාරයේ 19 වන සියවසේ මුල් පෙළේ යතිවරයෙකු විය. අමරපුර සිරිසද්ධම්ම වංශ මහා නිකායට දිරි දුන් ගිහි පින්වතුන් අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ආරම්භයේ සිට මේ දක්වාම කැපකරු දායකත්වය දරනුයේ බලපිටිය වැලිතර මහා කප්පින වලව්වේ රාජපක්‍ෂ පරපුරේ පින්වත් පිරිස ය.

1. කළුහත් සැම්සන් ද අබ්‍රේව් රාජපක්‍ෂ වාසල මුදලි 2. කළුහත් ටියුඩර් රාජපක්‍ෂ වාසල මුදලි 3. කළුහත් හියුබට් රාජපක්‍ෂ මැතිතුමා 4. දේමුණි වයලට් ද සොයිසා රාජපක්‍ෂ මැතිණිය 5. කළුහත් ජයනාත් රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු රාජපක්‍ෂ පවුලේ අය මේ වනතුරුම සිය කැපකරු දායකත්වය නොපිරිහෙලා ඉටු කරන අතර වැලිතර කප්පින වලව්ව සිය කැමැත්තෙන් අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායට පැවරූ අතර එම බිමේ අද ආරාමයක් ද තනවා ඇත. අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ ආරම්භයේ සිට අද දක්වා මහ නායක පදවි දැරූ මහ තෙරවරුන් වහන්සේලා. ආරම්භක සඟ පරපුරේ නිර්මාතෘ ධම්මසේනාපති, කපුගම සිරි ධම්මක්ඛන්ධ සීහල මහා ධම්ම රාජගුරු සංඝරාජයාණන් වහන්සේ, අමරපුර සමාගම (වෙන් වූ පාර්ශ්වය) 1848 සද්ධම්මවංශපාල ලංකාගොඩ සිරි ධීරානන්ද මහා ස්වාමින් වහන්සේ.

ප්‍රථම මහනායක
1. කරපුටුගල සිරි ධම්මදින්න මහ නා හිමි
2. රන්දොඹේ සිරි ධම්මාලංකාර මහ නා හිමි

පිළිවෙළින් කොස්ගොඩ ශ්‍රී සුමංගල මහ නා හිමි, මාදම්පේ ධම්මතිලක මහ නා හිමි, කරපුටුගල ධම්මරතන මහ නා හිමි, බෝගහපිටියේ සිරි සීලක්ඛන්ධ මහ නාහිමි, වැලිතර සිරි සුදස්සන මහ නා හිමි, තලල්ලේ ධම්මරක්ඛිත මහ නා හිමි, දික්වැල්ලේ සංඝතිලක මහ නා හිමි, පොහද්දරමුල්ලේ ඤාණානන්ද මහ නා හිමි, මාපලානේ පඤ්ඤාලංකාර මහ නා හිමි, මාදම්පිටියේ ජිනානන්ද මහ නා හිමි, කොස්ගොඩ ධම්මවංශ මහ නා හිමි, තලල්ලේ ධම්මානන්ද මහ නා හිමි, කොස්ගොඩ ජිනාලංකාර මහ නා හිමි, බලංගොඩ සුධම්මවංශ මහ නා හිමි,( වර්තමාන මහ නා හිමි වේ.)

                                                                             ලියුවේ   අහුන්ගල්ලේ දේ.සු.ද. සොයිසා

ඉතා දුෂ්කර අවදියක දඩල්ලේ විසූ කළුහත් අදිරියන්ද ආබ්‍රේව් රාජපක්‍ෂ වංසල මුදලිවරයාණන්ගේ ධන පරිත්‍යාගයෙන් සිදුවූ එම බුරුම ගමන නිසා මෙරට අමරපුර භික්‍ෂු වංශයට ලද සවිය බලය අතිමහත්ය. කපුගම ධම්මක්ඛන්ධ මහා ස්වාමිපාදයාණෝ ලක්දිවට වැඩමවා සිය මෙහෙවර ඉටු කරමින් ගොඩනැගූ භික්‍ෂු පරපුර පසු කළෙක අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකාය ලෙස ගොඩ නැගුණි. සිරි සද්ධම්මවංශපාල ලංකාගොඩ ධීරානන්ද කරපුටුගල ධම්මදින්න රන්දොඹේ ධම්මාලංකාර යන මහ යතීන්ද්‍රයාණන් වහන්සේලා සද්ධම්මවංශ සඟ පරපුර ඉදිරියට පවත්වාගෙන ආ අයුරු ඉතා ප්‍රශංසනීයය. වර්තමානයේ එම මහා නිකායේ දහසය වන මහ නායක මාහිමිපාණන් වහන්සේ වශයෙන් ඒ භික්‍ෂු වංශයට නායකත්වය දෙන්නට මා හට ඉඩකඩ ප්‍රස්තාව ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි. පිරිසුදු ථෙරවාදී බුදු දහම සිරි ලක්දිවට ලැබී වසර 2317 ක් සපිරෙන මෙම පොසොන් සමයේදීම අප නිකායික සඟපරපුරේ ආදි කර්තෘවරයාණන් අධිසිල් ලබා ලක්දිවට පැමිණීමේ 200 වන සංවත්සරය අනුස්මරණය කරමින් මෙම ජුනි 18,19,20 තෙදින තුළ නිකායේ ද්වි වාර්ෂික උපසම්පදා විනය කර්මයද උත්සවාකාරයෙන් පවත්වන්නට කටයුතු සංවිධානය කර ඇත. එම උතුම් සාසනික ක්‍රියාව කොළඹ මරදාන කුප්පියාවත්ත ජයශේඛරාරාම ශ්‍රී ධීරානන්ද උපෝශථාගාරයේදී සිදුකරන මෙම අවස්ථාවේදී එම උතුම් කටයුතු සමරමින් මගේ ශුභාශිංසනය පිරිනමන්නේ හදපිරී සතුටෙනි.


අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහා නායක
බළන්ගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිපති, සිරි සුමනජෝති වංශාවතංස ජිනශාසන කීර්ති ශ්‍රී ප්‍රවචන විශාරද, ත්‍රිපිටක වාගීශ්වර, සිරි සද්ධම්මවංශපාල ගණාචරිය මහෝපාධ්‍යාය, රාජකීය පණ්ඩිත බළන්ගොඩ සිරි සුධම්මවංශ මහ නා හිමි


ඉතිහාසය අභිමානයෙන් සිහිපත් කරමු 

ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ නොයෙකුත් වැදගත් සිදුවීම් රාශියක් මහින්දාගමනයෙන් පසු ගෙවීගිය වසර දෙදහස් තුන්සිය දහසයක ඉතිහාසය පුරා විටින්විට සිදුවී ඇත. එම සිදුවීම් අතරට එක්වන තවත් වැදගත් සිදුවීමක් වන්නේ මීට වසර දෙසීයකට පෙර සිදුවූ සිරිලක අමරපුර භික්‍ෂුවංශයේ කපුගම ධම්මක්ඛන්ධ මා හිමිපාණන් වහන්සේ බුරුම දේශයේ සිට අධිසිල් ලබා දොඩන්දූව වරායෙන් ලක්දිවට වැඩම කරවීමයි.

ඒ අනුව එම කපුගම ධම්මක්ඛන්ධ මා හිමිපාණන් වහන්සේගෙන් ඇරඹුණු භික්‍ෂු පරපුර වර්තමානයේදී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය වශයෙන් දෙස් විදෙස් වශයෙන් විසිරී පැතිරී සිදුකරන ශාසනික මෙහෙවර අති විශාලය. වෙහෙර විහාර පිරිවෙන් ආරණ්‍ය සේනාසන, ධර්මායතන , භාවනා මධ්‍යස්ථාන, ආදි වශයෙන් ගොඩනගා පවත්වාගෙන යන මෙම ථෙරවාදී ශාසනික මෙහෙවර බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සදහා හේතුවනු ඇත.

බෞද්ධ උරුමය රැක දෙන්නට පෙරට පැමිණි වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද මා හිමියන්ද උන්වහන්සේට ළඟින් සිට උදව් උපකාර කළ රන්දොඹේ ධම්මාලංකාර හිමි, බුලත්ගම ධම්මාලංකාර මා හිමි වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි වැනි මහ සංඝපීතෘන් වහන්සේලාද අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකාය නියෝජනය කළ මහා යතිවරයාණන් වහන්සේලා විය.

මෙවන් මහ යතිවරුන් දැයට දායාද කළ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකාය පසුගිය ශත වර්ෂාධික කාලයක් තිස්සේ මහනායක මා හිමිපාණන් වහන්සේලා 15 නමකගේ නායකත්වයෙන් යුතුව සංවිධානය වී කැපවීමෙන් ක්‍රියාකළ අඛණ්ඩ ක්‍රියාදාමය එම පරපුරේ 200 වසරක අභිමානය සමරන මේ අවස්ථාවේදී අභිනව මහානායක මා හිමිපාණන් වහන්සේගේද නායකත්වය යටතේ සිදුවෙන බව ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ සම ලේඛකාධිකාරිවරුන් වන
අම්බලන්ගොඩ රන්දොඹේ ශ්‍රී සංඝරාජ මහා විහාරාධිපති, ත්‍රිපිටකවේදී, ශාස්ත්‍රපති
කොස්ගොඩ සිරි සුභූති නා හිමි සහ දික්වැල්ල වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙරැ අධිපති, මාතර හම්බන්තොට දෙ දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දික්වැල්ලේ තිස්ස නා හිමි