සියම් නිකාය (1753)

z_p15-lak
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි විසින් ලියා වර්ෂ 2014 ක් වූ ජූලි 12 වනදා සෙනසුරාදා බුදු සරණ පත්‍ර හි පල කලලිපිය

ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක සංවිධානයක් ලෙසින් මිහිඳු හිමියන්ගේ නායකත්වයෙන් අනුරාධපුර යුගයේ තෙවැනි සියවසින් ඇරඹි සංඝ සංස්ථාවේ කඩඉමක් පැහැදිලිව සනිටුහන් වන එක් අවධියක් ලෙසින් මහනුවර රාජධානි සමය හැඳින්වීම නිවැරැදිය. ක්‍රිස්තු වර්ෂ දහසය වැනි සියවසින් පසු විදේශීය පාලන ආධිපත්‍යයට ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ නතු වීමත් කන්ද උඩරට එම පරිහානියේ දැකිය හැකි එක් සුවිශේෂ පාර්ශ්වයක් වූයේ භික්ෂූන්ගේ විනය හා සබැඳි උපසම්පදාව නැතිව යාම හා ප්‍රතිපත්තිමය වශයෙන් භික්ෂූන් ශාසනයෙන් ඈත්වීමය. උපසම්පදාලාභී භික්ෂූන්ගෙන් හිස් වූ භූමියක් බවට ශ්‍රී ලංකාව පත්විය. අනෙක් අතට ප්‍රතිකාල් බලයට ශ්‍රී ලංකාවේ මුහුදු බඩ කලාපය ලක්වීමත් සමඟ සිංහල රාජ්‍යයට අයත් භූමි කලාපය කුඩාවීමත් භව භෝග සම්පත් හීනවීමත් ආසියාවේ හා ජාත්‍යන්තරය තුළ වාණිජ කාර්යයන් සඳහා සිංහලයන් සතුව තිබූ මැදිහත්වීම ගිලිහීයාමත් ජාතික වශයෙන් රට අභ්‍යන්තරයට කොටුවීමට සිදුවීමත් ආගමික වශයෙන් පසුබෑමට හේතුවූ කරැණූ ලෙසින් ද සැලකිය හැකිය. ගිහි සමාජය ද මීට සමගාමීව පරිහානිය කරා ගමන් කරමින් තිබුණි. ත්‍රිවිධ බලපෑම් හේතුවෙන් උපරිගත සංඝ ශාසනය පරිහානියට පත් වෙමින් තිබූ අතර උපාසක උපාසිකාවන් සහිත ගිහි සමාජය ද අධ්‍යාත්මික වශයෙන් ඈත්වෙමින් සිටියහ. භෞතික සම්පත් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අන්‍ය ආගම් වැලඳගත් වූවන් පහතරට බහුතරයක් වූ අතර උඩරට වුවද බෞද්ධයන් හින්දු ආගමික ඇදහීම් පද්ධතියට ඇදීයාම වළක්වාලන හෝ සීමා කරන තරමේ ප්‍රබලත්වයක් පැවිදි සංස්ථාවෙන් ඉටු නොවීය. ඉහළ, පහළ මට්ටම් දෙකින්ම සසුන පිරිහෙද්දි පෙර පැවති ග්‍රන්ථ විදර්ශනා ධූරයන් මෙන්ම ග්‍රාමවාසී ආරණ්‍යවාසී යනාදී භික්ෂූන්ට කැප වූ ජීවන ක්‍රමය නැතිව ගොස් භික්ෂු ශාසනය වෙනුවට ‘හෙරණ සසුනක්’ ඇති වූ අතර භික්ෂු ජීවිතයේ අරමුණ පන්සල් රැකීම කේන්ද්‍රගත කොට පැවැතිණි. පොතපත ඉගෙනුම හා හැදෑරීම ආදි කටයුතුවලින් ඈත්ව සිල් රැකීම දහම් දෙසීම වැනි ශාසනික ක්‍රියාවන්ගෙන් ක්‍රමයෙන් දුරස්ථ වෙමින් ක්‍රමයෙන් කුල සංසක්තවීම දැකිය හැකි කරුණක් විය.

කුසල ක්‍රියානු සන්දේශයෙන් භික්ෂු ශාසනයේ වූ මෙම පරිහානිය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් මතු කරගත වේ. භික්ෂුත්වය ඉවතලා ග්‍රාම්‍ය විශ්වාස හා ඇදහිලි කෙරෙහි භික්ෂූහු ඇදී ගියහ. භූත විශ්වාස, යදිහූණියම් ,යන්ත්‍ර, මන්ත්‍රාදියද දේවියන් පිනවීම සඳහා බලි බිලි ශාන්ති ක්‍රම ද බිහි වූ අතර භික්ෂූන් සිය ආගමික වෘත රක්ෂණය වෙනුවට මෙකී ගුප්ත ශාස්ත්‍ර පුහුණු කරමින් කපුවන් පිරිසක් බවට පත් වූහ. උපසම්පදාවක් නොලද මම භික්ෂු පිරිස ගණ හෙවත් ගණින්නාන්සේලා ලෙසින් හඳුන්වා ඇති අතර පවින් බරව අඹූදරුවන් රකිමින් ගිහි කාර්යයන් කරමින් නැකත් වෙදකම් ආදිය කටයුතුවල නිරතව සිය ජීවිතය ගෙන ගිය බව සඟරජවත දක්වයි. මේ ගැන දක්වන සඟරජවත මෙසේද දක්වයි. එනම් එම ගණින්නාන්සේලාගෙන් පැවැත එන දරුවන් පැවිදි කරගෙන බැහැරින් පැවිදිවන්නන්ට අවසර නොදී අඹූදරැවන් රකිමින් සැදැහැ ඇත්තන් විසින් සසුනට පුදන පූජාවන් නෑදෑයින් අතර බෙදමින් නිමල සසුන කිළිටි කරමින් අඟනුන් ලවා පිසගෙන කමින් පිණ්ඩපාතය හරිමින් මහත් අභිමානයකින් උන්වහන්සේලා හැසුරුණූ බව කියයි. එනමුත් උන්වහන්සේලාගෙන් සිදු වූ සේවයද වැදගත්ය. පැරණි පොතපත නැසීමට නොදී රැක බලා ගැනීම, පැරණි රජුන් සැදැහැයෙන් වෙහෙරවලට පිදු කෙත්වත් පෙති පිළිම ආදිය රැක බලා ගැනීම ගුරුවරයෙකු වශයෙන් හැකි පමණ දරුවනට අකුරු මෙන්ම අනෙකුත් ශාස්ත්‍රයන් ඉගැන්වීම ඒ අතර වේ. ගොන්සාල්වෙස් පියනමගේ ලේඛනවලින් ද මෙම අවධියේ සසුනේ තත්ත්වය පසක් කරගත හැකිය. 1753 ජූලි මස 20 වැනි දින ස්‍යාමෝපාලි උපසම්පදාව මල්වතු මහා විහාරය කේන්ද්‍ර කොට මෙරට පිහිටුවන තෙක් උපසපන් භික්ෂූන් මෙරට නොසිටි බව මහනුවර රාජධානි සමයේ විසූ ලේඛකයකු වන මුංකොටුවේ රාළ විසින් රචිත සඟරාජවතින් සනාථ වේ. ශාසනික පරිහානිය අවධියේ සඟ සසුනේ බහුතරයක් වූ සාමණේරවරුන්ගේ මතවාදයනට හිස නොනමා නැතිව ගිය ශාසනික ප්‍රතිපදාවන් ඉස්මතු කරලීමට හා උපසම්පදාව නැවත මෙරට ස්ථාපිත කරලීමට සිය දායකත්වය ලබාදුන් වැලිවිට සරණංකර මාහිමියන්ගේ ක්‍රියා කලාපය නූතන ශ්‍රී ලාංකේය ශාසනික ඉතතිහාසයේ වැදගත් ඓතිහාසික සංසිද්ධියක් ලෙසින් සැලකේ.

දෙවැනි විමලධර්මසූරිය රජුගේ රාජ අනුග්‍රහය මත රක්ඛංග දේශයෙන් ලංකාවට වැඩමකළ සන්තාන හා ලෝකරාගපුග්ග යන හිමිවරුන් වෙතින් ගැටඹේ තොටේදී උපසම්පදාව ලද (ක්‍රි.ව. 1697) ශ්‍රී ලාංකේය භික්ෂුවක් වන සූරියගොඩ කිත්සිරිමෙවන් රාජසුන්දර මහතෙරුන්ගේ ආචායත්වයෙන් යටිනුවර සූරියගොඩ විහාරයේදී 1714 දී පැවිදිව පන්සල් ඇසුරෙන් පාලි සංස්කෘත කෘතීන් පමණක් නොව සියම්, බුරුම ,ද්‍රවිඩ යන අක්ෂරයන් ද ලිවීමට හා කියවීමට ද වැලිවිට සරණංකර හිමියන් ස්වොත්සාහයෙන් ගත් ව්‍යායාමය කෙසේද යන්න මූලාශ්‍රයෝ පෙන්වා දෙති.

මෙම අවධියේ වැඩ වාසය කළ වැලිවිට සරණංකර මාහිමියන්ගේ නායකත්වය හා අප්‍රතිහත ධෛර්ය වනාහි පරිහානිය කරා ගමන් කරමින් තිබූ ශාසනය නඟාලීමට මහත් අනුබලයක් විය. මේ සඳහා පාලක අනුග්‍රහය ද අවශ්‍ය වූයෙන් ඒ සඳහා පාලක සහාය ලබා ගැනීම අවශ්‍ය කටයුතු ඉටු කොට ගැනීමටද උන්වහන්සේ සමත් විය. පොළොන්නරු යුගයෙන් පසු ලක්දිවට ඉන්දියාවෙන් මෙන්ම අග්නිදිග ආසියානු ප්‍රදේශවලින් ද භික්ෂූන් වැඩමවා ඇති අතර ලක්දිවින් උපසම්පදාව ලබා එරටවලට භික්ෂූන් පිටත්ව ගිය බවට සාධක තිබේ. ලංකාවේ භික්ෂූන් ඒ ප්‍රදේශවලට නිරතුරුවම වැඩම කොට ඇත.මේ නිසා සියම් දේශයෙන් හෝ පේගු දේශයෙන් භික්ෂූන් වැඩමවීම සුදුසුය යන්න තීරණය මත සිට සරණංකර හිමියෝ ක්‍රියා කළහ. එහි ප්‍රතිපලයක් වශයෙන් නරේන්ද්‍රසිංහ රජුගේ සහායෙන් සියම් දේශයෙන් නැවත උපසම්පදා භික්ෂූන් වැඩම කරවීමට අදහස් කළද රජුගේ වෘද්ධ බව ඊට එක් හේතුවක් විය.

අනතුරුව නායකත්වයට පත් නායක්කාර වංශික විජයරාජසිංහ රජු ද සිය අභිමතය ඉටු කොට ගැනීමට නම්මා ගැනීමට වැලිවිට සරණංකර හිමියෝ සමත්වූහ. විජයරාජසිංහ රජු විසින් ශ්‍රී ලංකාවේ නැවත උපසම්පදාව පිහිටුවීම පිණිස දූත කණ්ඩායම් දෙකක් සියමය වෙත පිටත් කොට තිබේ. දොරණෑගම මුහන්දිරම් රාළ සහ මාතර රාළ ඇතුළු කීපදෙනෙකු ඕලන්ද නැවකින් යවන ලද අතර මෙම පිරිස සියමයට ළඟාවීම පෙරාතුව මුහුදේදී වූ විපතකට මුහුණ දුන් අතර ඉන් දිවිගලවාගත් තිදෙනෙකු නැවත ලක්දිවට පැමිණියහ. ඉන් පසුබට නොවූ සරණංකර හිමියන් හා රජු නැවත දොරණෑගමරාළගේ නායකත්වයෙන් කණ්ඩායමක් යවන ලද අතර එහි දී දොරණෑගම රාළ මරණයට පත්ව තිබේ. මෙහිදී දිවිගලවාගත් විල්බාවේ රාජ නැවත ලක්දිවට පැමිණ ඇත. ක්‍රි.ව. 1741 හා 1947 වර්ෂවල උපසම්පදාව ලබා ගැනීමේ පරමාර්ථයෙන් මෙසේ සියමයට දූත පිරිස් යවන ලද මුත් එම අවස්ථා දෙකම අසාර්ථක වුවත් ඉන් අධෛර්යට පත් නොවූ සරණංකර මාහිමියන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස නැවතත් දූත පිරිසක් සියම් දේශයට යවා භික්ෂූන් වැඩමවාගෙන ඒමට කටයුතු යෙදීය. මෙවර රජු වෙනුවෙන් දොරණෑගම රාළ ප්‍රධාන කොට පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සියමය බලා යැවීමට කටයුතු යෙදීය. විල්බාගෙදර රාළගේ විස්තරයේ ඒ බව මෙසේ දක්වයි. අතපත්තුවේ ලේකම් ලැබී තිබෙන පට්ටපොල මොහොට්ටාල ද, වෙඩික්කාර ලේකම ලැබී තිබෙන ඇල්ලේපොල මොහොට්ටාල ද,නානායක්කාර ලේකමේ යටිනුවර මුහන්දිරම් වසම ලැබී තිබෙන ඊරියගම රාළද, පඩික්කාරලේකමේ තුන්පනහේ මුහන්දිරම් වසම ලැබී තිබෙන විල්බාගෙදර රාල ද වෙඩික්කාර ලේකමේ දුම්බර මුහන්දිරම් වසම ලැබී තිබෙන ආයිත්තාලියද්දේ රාළ ද, සියම් දේශයට යන්නට නියම පණිවිඩ වූ විල්බාවේ ගෙදර රාළ මීට පෙරද සියමේට ගිය දූත පිරිසට අයත් වූ හෙයින් ඔහු මාර්ගෝපදේශකත්වයට පත් කළ අතර කණ්ඩායම් නායකත්වයට පට්ටපොල මොහොට්ටාල පත් කරන්නට ඇති බවට සාක්ෂි තිබේ. සරණංකර හිමිවෙනුවෙන් වල්ලැවේ, ගලටොඹුවේ දැලිවල,බෝතලේ, ඕගොඩපොළ යන උපැවිදි කළ සිල්වත් පිරිසක් ද සම්බන්ධ කළහ. මෙම දූත පිරිස සරණංකර සාමණේරයන් වහන්සේ විසින් ලියන ලද රාජ සංදේශය ද අස්ගිරිවිහාරයේ ගොලහැන්වත්තේ ධම්මදස්සී හිමියන් විසින් ලියූ සංඝරාජ සන්දේශය ද ශ්‍රී සන්නස ද පඬුරු ද රැගෙන අයෝධයාව බලා වර්ෂ 1750 ජූලි මස 12 වැනි දින මෙරටින් පිටත්විය. තෙරුන් ප්‍රමුඛ භික්ෂු පිරිසක් හා තානාපතිවරු පස් දෙනෙකු ද සමඟ ලක්දිව බලා ඒමට වර්ෂ 1751 නොවැම්බර් මස 14 වැනි දින සියම් වරාය වෙත ළඟා වූහ. එහි දී පට්ටිපොල රාළ මිය ගොස් ඇත. සියමෙන් පිටත් වු දූත පිරිස සියම් භික්ෂූන් ද සමඟින් පෙරළා ත්‍රිකුණාමල වරාය වෙත 1753 ජුනි මස 14 වැනි දින පෙරවරුවේ දී ළඟා වී තිබේ. සියම් දේශයෙන් වැඩම කළ භික්ෂු පිරිස විසිපස්නමක් වූහ. ඒ අතර ඒරා උපාලි මහාස්ථවිර ,ආරියමුණි, මහාඉන්දසුවණ්ණ, මහාබ්‍රහ්මස්සර, මහා ස්වර්ණ, මහා මණිරස, මහාධම්මජෝති ,මහාමුණි, මහාචන්ද සුවණ්ණ , මහා අස්සමි, මහාපඤ්ඤාස, මහා සාරචන්ද, මහා පුඤ්ඤජාතො මහා චන්දසාර, මහා ඉන්දජෝති, මහා බුවජෝති මහ රට්ඨ හා මහා චන්දජොති යන තෙරුන් වහන්සේලා මෙන්ම සාමණේරවරු හත් නමක් ද ඇතුළත් වූහ.

වර්ෂ 1753 ජූලි 12 වැනි දින මහනුවරට වැඩම කළ මෙම පිරිසට සියලු විහාරංගවලින් යුතුව නිමවන ලද මහනුවර ධම්මිකාරාමය සඟසතු කොට පූජා කරමින් නැවතීමට පහසුකම් සලසා දෙන ලදී. මෙම ස්ථානයේ ඉදිකොට තිබූ ශාලා මණ්ඩපයේ උපෝසථ හා සංඝකර්ම කිරීම සඳහා විසුංගාම සීමා සලකුණු කළ සේක.

වර්ෂ 1753 ජූලි 19 වැනි දින සියමෙන් වැඩම කළ සාමණේර නමක් මෙම ස්ථානයේදී උපසම්පදා කළ අතර එළඹි 20 වැනි ඇසළ පුර පොහෝ දිනයේදී (සුගත වර්ෂයෙන් දෙදහස් දෙසිය අනූ සවැනි වර්ෂයෙහි ඇසළ පුර පසලොස්වක් ලත් දිනයෙහි) මහනුවර මල්වතු සීමාමාලකයේදී කොබ්බෑකඩුව උන්නාන්සේ සහ වැලිවිට සරණංකර සාමණෞරයන් වහන්සේ, හුලංගමුවේ සාමණේරයන් වහන්සේ, බඹරදෙණියේ සාමණේර තිබ්බටුවාවේ හා අස්ගිරි විහාර පාර්ශ්වයේ නාවින්නේ යන සාමණේරයන් වහන්සේලා ද උපාලි තෙරුන්ගේ උපාධ්‍යායත්වයෙන් හා බ්‍රහ්මජෝති ,මහාපුඤ්ඤ යන කම්මාවාච මහාස්ථවිරයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබීය. සියම් දේශ වැසි උපාලි තෙරුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූ වෙතින් ආරම්භ වූ මෙම භික්ෂූ වංශය මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ස්‍යාමෝපාලි වංශික මහානිකාය නමින් ව්‍යවහාරයට පත්විය. සියම් දෙස් වැසි භික්ෂූන් වෙතින් උපසම්පදාව ලබන විට සරණංකර මාහිමියෝ පනස් හතර වැනි වියේ පසු වූහ. රජු වෙතින් සඟරාජ තනතුරෙන් ද පිදුම් ලබන සරණංකර මාහිමියන්ගේ කටයුතු සියම් උපසම්පදාව වඩාත් මෙරට තහවුරුවීම කෙරෙහි මෙන්ම වර්තමාන භික්ෂු ශාසනයේ දියුණුව කෙරෙහි ද ඍජුවම බලපෑවේය. සියම් උපසම්පදාව මෙරට පිහිටුවීමෙන් පසු එතැන් සිට උපසම්පදා විනය කර්මයන් කළ යුතු ආකාරය පිළිබඳ සඳහන් ව්‍යවස්ථාවක් ද සම්පාදනය කිරීමය.

එම කතිකාවත උපාලි කතිකාවත නමින් ප්‍රකටය. මෙම ගමනේදී දොරණාගමරාළ හා මීදෙණියේ රාළ මිය ගිය අතර විල්බාවේ රාළ පෙරළා දිවයිනට පැමිණ ඇත. සියම් උපසම්පදාව සඳහා මහසඟරුවන ඇතුළු රත්නත්‍රය පෙරළා ලක්දිවට ගෙන ඒමට මහත් වෙහෙසක් ගත් බිල්බාවේ රාළට රටෙන් භාගයක් දීම සුදුසුයැයි කල්පනා කළත් නමුත් මේ ගැන වැඩි මනාපයක් විල්බාවේ රාළට නැති බව දත් රජු ඔහුට “ශ්‍රී රාම රත්නායක රාජකරුණා සෙනෙවිරත්න පණ්ඩිත මුදලි” යන නම්බු නාමය ප්‍රදානය කොට තිබෙන අතර තුම්පනේ රට ද පවරා දී ඇත. ඇලවටුව හැවනේ මඩවල වෑඋඩ වැලි කුඹුර යන ප්‍රදේශයන්හි ප්‍රවේනිය දරු මුණුබුරන්ට ද අයිතිවන ලෙසින් ශ්‍රී සන්නස් පත්‍රයකින් පවරා දී තිබේ. සියම් උපසම්පදාව පිහිටුවා මෙම ඇසළ පුන් පොහෝ දිනට වසර දෙසිය හැටඑකක් සැපිරෙන අතර සියම් නිකාය පිහිටුවා ගෙවී ගොස් ඇති වසර සංඛ්‍යාව ද දෙසිය හැට එකක්වන බව කිව යුතුය.

සියම් නිකායට අයත් පාර්ශව 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s