1795- 1848 කඩහපොල උන්නාන්සේ

z_p14-Kudahapola

උන්වහන්සේගේ උපන් ගම දැනට කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කුලියාපිටිය, නාරම්මල බස්‌ මාර්ගයේ පිහිටි කඩහපොළ බව ඉතිහාසඥයෝ දක්‌වති. ජාත්‍යානුරාගයෙන් ඔදවැඩී ගිය නිර්භීත හිමි නමක් ලෙස දැනුදු ප්‍රසිද්ධ කඩහපොළ උන්නාන්සේ  වූ එකල කහල්ල රජමහා විහාරයේ අධිපතිව වැඩ සිටියහ, කඩහපොල හාමුදුරුවෝ හෙවත් කුඩාපොල හාමුදුරුවෝ ආරාමයට වී සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ හිමිනමක් නොවූහ. ගිරිදුර්ග හා වනදුර්ගවල සැරිසරමින් ගොවි නිවෙස්වලත්, පැල්පත්වලත් වෙසෙන සිංහල ජනතාවට ධර්මය දේශාන කරමින් සාරධර්ම කියා දෙමින් ඔවුන්ගේ ස්වදේශාලය ඇති කිරීම සඳහා උන් වහන්සේ අපමණ මහන්සි ගත්හ. ගම් නියම්ගම්වල සිටි බොහෝ තරුණ පිරිස් උන් වහන්සේ වටා රොක්ව සිටියහ. උන් වහන්සේ සිය දබරැඟිල්ල ඔසවා එම තරුණයන් අමතා යම් අණක් දුන්නා නම් ඔවුන් අතින් එම අණ නොපිරිහෙළා ඉටු විණි. උන් වහන්සේ ඕනෑම කලබලකාරයකු වෙත ගොස් ශාන්ත ස්වරයෙන් ඇමැතූ විට ඔහු උන් වහන්සේ කෙරෙහි හටගත් ගෞරව සම්ප්‍රයුක්ත බියකින් යුක්තව නිසසල වූයේ කුඩා දරුවකු මෙනි.

එය බ්‍රිතාන්‍යය ජාතිකයන් විසින් මෙරට අත්පත් කරගත් යුගයේ එම විදේශීය ආධිපත්‍යයට එරෙහිව දේශප්‍රේමී ජනතාව සටන් කළ යුගයයි. 1848 මෙම විදේශ හමුදා සහ රාජ්‍ය බලයට එරෙහිව දෙවන විමුක්‌ති සටනට නායකත්වය දුන්නේ ගොන්ගාලේ බංඩාය. ඔහු සිංහළේ මහරජු ලෙසින් කිරුළු පැළඳීම එවකට මෙරට පාලනය කළ ඉංගී්‍රසීන්ට මහත් හිසරදයක්‌ මෙන්ම අභියෝගයක්‌ද විය. ගොන්ගාලේ බංඩා රජු අල්ලා මරා දැමීමට විදේශිකයන් කුමන්ත්‍රණය කරද්දී රජුගේ පාර්ශ්වය ද ඉංගී්‍රසීන්ට එරෙහිව සටන් වදින්නට විය. මෙම සටන් පෙරමුණේ සිටි ප්‍රබල චරිතයක්‌ වූයේ කඩහපොළ හිමියන්ය. උන්වහන්සේ ගේ ජනප්‍රියත්වය ඉංග්‍රීසින්ට නුරුස්නා දෙයක් විය. එඩිතර ලීලාවෙන්, එහෙත් ශාන්ත ගමනින් වැඩම කරන උන් වහන්සේ දකින විට ඔවුන්ගේ ඇස්වලට කටු අනින්නාක් මෙන් විය. තව දුරටත් මේ දෙස බලා සිටිය නොහී වහා ම ක්‍රියාත්මක වූ ඉංග්‍රීසිහු යුතු අයුතුකම් නො බලා හොඳ නරක නො බලා උන් වහන්සේ සිර භාරයට ගැනීමට කටයුතු කළහ.

…සටන්කරුවන්ට ශක්‌තියක්‌ වෙමින් සැඟව සිට නායකත්වය දුන් කඩහපොල හිමියන් 1848 දී අත්අඩංගුවට ගැනීමට ඉංගී්‍රසීන් සමත් විය. ඒ ඉංගී්‍රසීන්ගේ හමුදාවල ශක්‌තියෙන් නොවේ. එවකට සිටි පල්ලමේ කුඹුරේ බස්‌නායක නිළමේ නම් ද්‍රෝහී පුද්ගලයකුගේ ඔත්තුවක්‌ අනුව අප හිමියන් කහල්ලේ ගල්ලෙනක සැඟවී සිටියදීය.

අල්ලාගත් මොහොතේ සිටම රජු ඉන්නා තැනක්‌ පිළිබඳව තොරතුරක්‌ සපයන්නේ නම් ජීවත්වීමේ වරම ලැබෙන බවත් ජීවත්වීමට ආශාවක්‌ ඇත්නම් රජු පිළිබඳ තොරතුරු සපයන ලෙසත් ඉංගී්‍රසීන් අප හිමියනට දන්වා සිටියහ.
“මම දන්නෙ නැහැ”

කහඩපොළ හිමියන්ගේ එකම පිළිතුර විය. කොතෙක්‌ උත්සාහ කළත් රජු සිටින තැන පිළිබඳව තොරතුරක්‌ මෙම හිමියන්ගෙන් ලබාගැනීමට නොහැකිවූ තැන උන්වහන්සේ යුද අධිකරණයක්‌ ඉදිරියට කැඳවා උන්වහන්සේට චෝදනා නැගූහ.

උන්වහන්සේට නැගුණ චෝදනාව වූයේ “මේ රටේ සාධාරණ උතුම් වූ ඉංගී්‍රසි ආණ්‌ඩුවට විරුද්ධව කැරැළි ගසන කැරැළි නායකයා සමග සම්බන්ධකම් පවත්වමින් ඔහුගේ රාජද්‍රෝහී ක්‍රියාවලියට අනුබල දීමෙනුත් එම කැරළි නායකයා දැනට සැඟවී සිටින තැන පිළිබඳව යුෂ්මතා දන්නා සත්‍ය කරුණු ආණ්‌ඩුවට අනාවරණය නොකිරීමෙනුත් යුෂ්මතා රාජද්‍රෝහීව කටයුතු කරන්නේය… යනුවෙනි.

ඒ සමගම කැරැළි නායකයා අල්ලා දී ජීවිත දානය ලබාගැනීමට තවමත් කලවේලාව ඇති බවද කියා සිටියේය. “මම දන්නෙ නෑ… චෝදනාවට මම නිර්දොෂීයි” අප හිමියන්ගේ එකම පිළිතුර විය. ඉහත සඳහන් චෝදනාව ලත් අප හිමියන්ට එරෙහිව නඩු විභාගය ඇරඹිණ. උන්වහන්සේට එරෙහිව සාක්‍ෂිදීමට පල්ලමේකුඹුරේ බස්‌නායක නිලමේත්, ඔහුගේ පුත්‍රයාත්, වීදිය වැල්ලේ විදානේත් ඉදිරිපත් වූහ. ඔවුන්ගේ සාක්‍ෂි විමසීමෙන් අනතුරුව යුද අධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කළාය.

උතුම් වූ ඉංගී්‍රසි ආණ්‌ඩුවට විරුද්ධව කැරැළි නායකයා හා සම්බන්ධකම් පැවැත්වීම, කැරැළි නායකයාට අනුබල දීම යන චෝදනා යටතේ යුෂ්මතාට රාජද්‍රෝහියකුට ලැබිය යුතු දණ්‌ඩනය මෙහිදී නියම කරමු. මේ තීන්දුව අනුව 1848 අගෝස්‌තු මස 26 දින හෙවත් හෙට උදේ 7.00 ට යුෂ්මතා වෙඩි තබා මැරිය යුතු යෑයි මේ යුද අධිකරණය තීරණය කරයි.

අගෝස්‌තු 26 දිනට හිරු උදාවිය. උදේ 7.00 විය. දැතේ විලංගු සහිතව කඩහපොළ හිමිපාණෝට මරණ දඬුවම පැමිණවීම සඳහා පෝරකය වෙත ගෙන ගියේය. අප හිමිපාණන්ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට භාරව තිබුණේ කැප්ටන් පෙන්වික්‌ නමැති හමුදා නිලධාරියාටය. ඔහු අවසන් වතාවටත් කඩහපොළ හිමියන්ට දැන්වීය.

“කැරැළි නායකයා සිටින තැන පවසන්න. තවමත් ඔබට ඔබේ ජීවිතය බේරා ගැනීමට අවස්‌ථාවක්‌ ඇත. මේ අවසාන මොහොතේ ලැබෙන මේ මොහොතෙන් ප්‍රයෝජන ගන්න”

“මම දන්නෙ නෑ”

අප හිමියන්ගේ පිළිතුර එය විය. කැප්ටන් පෙන්වික්‌ ඝාතකයන්ට සංඥව නිකුත් කළේය. තවත් අදීන බුද්ධ පුත්‍රයෙකුගේ ලෙයින් ලක්‌ දෙරණ තෙත් විය. රට වෙනුවෙන් තවත් බුදු පුතකු ජීවිතය පිදුවේය. 1848 අගෝස්තු 26 වන දා සිංහල ජාතියට ම බලවත් ශෝක ජනක දිනයක් විය. කඩහපොල හාමුදුරුවන් වහන්සේ මහනුවර මහ මළුවට ගෙන ආ ඉංග්‍රීසීහු උන් වහන්සේගේ දෑත් පිටිකරට තබා කණුවකට අල්ලා බැන්දාහ. ඕනෑ ම අපරාධකරුවකු මරණයට පත් කරන්නේ ඔහු වෙනුවෙන් සකස් කළ ඇඳුමක් ඇන්දවීමෙන් පසුව ය. එහෙත් කඩහපොල හිමියන්ට එවැනි ඇඳුමක් පවා ඇන්දවූයේ නැත. උන් වහන්සේ චීවරය පිටින් සිටිය දී ම එදින පෙරවරු 7 ට වෙඩි තබා ජීවිතක්ෂයට පත් කළහ. …කඩහපොළ හිමියන් අප රටට ආදර්ශයක්‌ වන්නේ එදාට වඩා අදටය. එදා උන්වහන්සේ රට හෝ රජු පාවා දුන්නේ නැත. අවශ්‍ය නම් පාවාදී බොහෝ වරප්‍රසාද ලබාගැනීමට අවස්‌ථාව තිබිණි. එහෙත් උන්වහන්සේ ඒ සියල්ල පසෙක ලා ඒ වරප්‍රසාදවලට වඩා මරණය උතුම් යෑයි සැලකුවේය.

වර්තමානයේ බල තණ්‌හාවෙන්, විදේශ වරප්‍රසාදවලට මුදල්වලට රට පාවා දෙන්නට කටයුතු කරන ජාතිද්‍රෝහීනට දේශද්‍රෝහීනට කඩහපොළ හිමියන් උතුම් ආදර්ශයකි.

කඩහපොළ ස්‌වාමීන් වහන්සේ සම්බන්ධ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහත් ආන්ලදෝලනයක්‌ ඇති විය. මෙහි ඇති අවිචාරවත් බව, එවකට මෙරට සේවය කළ ඉංගී්‍රසි නිලධාරීන් දෙදෙනකු වන ක්‍රිස්‌ටෝපර් එලියට්‌ සහ ඒ. එම්. පර්ගියුසන් විසින් බ්‍රිතාන්‍යයට දන්වා තිබිණි. 1848 දෙසැම්බර් මස ඡේ. කේ. දුනුවිල නමැති නීතිඥ මහතා විසින් ද මේ පිළිබඳව පෙත්සමකින් එරටට කරුණු දන්වා ඇත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 1848 දී මාතලේ සහ සත්කෝරළේ දිසාවන්හි යුද නීතිය ප්‍රකාශ කිරීමත්, ඒ දක්‌වා ලංකාවේ ඉංගී්‍රසි පාලනයත් සම්බන්ධයෙන් කරුණු පරීක්‍ෂා කිරීම සඳහා විශේෂ කොමිටියක්‌ පත් කෙරිණි.

මෙම කොමිටියේ වාර්තාවේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ටොරිංටන් සාමි ආණ්‌ඩුකාර පදවියෙන් ද, එමර්සන් ටෙනන්ට්‌ මහාලේකම් පදවියෙන් ද පහ කෙරිණි. එපමණක්‌ නොව ටොරිංටන් සාමී ආරක්‍ෂා කිරීමෙහිලා මහත් අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ එවකට බ්‍රිතාන්‍යය අගමැති පදවිය ඉසිලූ රසල් සාමිවරයාගේ ඇමැති මණ්‌ඩලය ද පාර්ලිමේන්තුවේදී පරාජය වූ අතර එරට රජය විශාල අර්බුදයකට පත්විය.

මෙයට වසර 165 කට පෙර සිය රට වෙනුවෙන් ජීවිතය පුද කළ මෙම වීරෝදාර බුද්ධ පුත්‍රයා වන කඩහපොළ හිමියන් ඉමහත් භක්‌තියෙන් සැමරීම කළ යුතුය. උන්වහන්සේ වෙඩි උණ්‌ඩයට ගොදුරු වූයේ මෙයට වසර 165 කට පෙර එනම් 1848 අගෝස්‌තු 26 වැනි දිනකය.

… කඩහපොල හාමුදුරුවන්ගේ ජීවිත පූජාව නිසා ඇති වූ ප්‍රතිඵල බොහෝ ය. ටොරින්ටන් ආණ්ඩුකාරයා ගැන අප්‍රසාදය පළ කැර ඔහු එම පදවියෙන් නෙරපා හරිනු ලැබිණි. ඉමර්සන් ටෙනන්ට් නමැති ඔහුගේ මහ ලේකම්වරයා ද තනතුරින් පහ කරන ලදී. සිංහලයන්ට විරුද්ධව පනවා තුබූ අසාධාරණ බදු ක්‍රම ද ඉවත් කර ගන්නා ලදී. කොතෙක් දේ කළත් එම වීරෝදාර හිමි නම ගේ ජීවිතය නැති වීමෙන් ජාතියට සිදු වූ පාඩුව නම් මකාලන්නට නොහැකි වූයේ ම ය.

රංජිත් එස්‌. කේ. සූරියආරච්චි

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s