1897 -1963 වැලිවිටියේ ශ්‍රී සෝරත නා හිමි

2008-07-17 දින බුදුසරණ පුවත්පතට වැලිවිටියේ පඤ්ඤාජෝති හිමි විසින් ලියන ලදී

Soratha Thero

විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපකුලපති ධුරය හෙබවූ විද්‍යෝදය පිරිවෙණේ පරිවෙණාධිපති ධූරය දැරූ සාහිත්‍ය චක්‍රවර්ති රාජකීය පණ්ඩිත වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් අපවත් වීමෙන් 2008 ජුලි 17 දිනට වසර හතලිස් පහක් සපිරේ. ඒ නිමිත්තෙන් හික්කඩුවේ නලාගස්දෙනිය ශ්‍රී නාගරාමස්ථ ශ්‍රී සෝරත පිරිවෙණේදී පින්කම් මාලාවක් පැවැත්වේ.

දහනව වන සියවසේ කෙළවර ඉපිද විසිවන සියවසේ ස්වකීය කාර්යභාරයන් ඉටු කරමින් විසි එක්වන සියවසෙන් එපිටටත් ජාතියට හා දේශයට මහත් වූ ප්‍රති ඵල අත් කර ගත හැකි ආකාරයෙන් මහත් වූ සේවාවන් සිදු කරමින් ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය තනිවම ජාතියට උරුම කොට දුන්හ. සෝරත නාහිමියන්ගේ ගැඹුරු පාණ්ඩිත්‍ය, විශාරද භාෂා නෛපුණ්‍ය දැකීමට ලියූ පොත් පත් රාශියකි. ඒ අතර

ප්‍රාකෘත සුක්ති මඤ්ජරී, සිංහල දශකුමාර චරිතය, වෘත්ත රත්නාකර සරල ව්‍යාඛ්‍යා, දහම් සොඬ කාව්‍ය (පරිකතාව), මයුර සංදේශ විස්තර වර්ණනාව, බුත්සරණ ගැටපද විවරණ (1 – 3 කාණ්ඩ), පරෙවි සංදේශ (පරිකතාව), එලු සදැස් ලකුණ සඤ්ජීවනී ව්‍යාක්‍යා, ව් සිළුමිණ තල්පත ව්‍යාක්‍යා, සෞන්දරානන්දකාව්‍ය කල්පලතා ව්‍යාක්‍යා, අමාවතුර ගැට පද විවරණය, කථා තරංගණී කථා මෘතය, පාසල් දවස, සාහිත්‍ය සේවය, ගිරා සංදේශ විස්තර වර්ණණාව, හංස සංදේශ විස්තර වර්ණණාව, පූජාවලී ගැටපද විවරණය, කුශ ජාතක කාව්‍ය සංග්‍රය, ාව්‍ය ශේඛරය ගැටපද විවරණය, දළදා පහන, සංකෘත ශබ්දාර්ණවය, ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, ලියා නිමවා මුද්‍රණය කොට ජාතියට දායද කළ කෘති කීපයකි. සිය අත් අකුරින් ලියූ මුද්‍රණය නොවූ පොත් ද කීපයක් ඇත. වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් 1897 මැයි 23 වන දින චන්ද්‍රදාස කුමාර සිරිවර්ධන නමින් වෛද්‍යාචාර්ය දෝන් ජොහෑනිස් කුමාර සිර්වර්ධන පියාටත් ඇලිස් අමරසිංහ මවටත් දාව උපන් පින්වත් කුමරුවා 1912 ඔක්තෝබර් 15 වන දින වැලිවිටියේ සෝරත නමින් පැවිදි විය. 1917 දී උපසම්පදා වීම, විද්‍යෝදය පිරිවෙණට ඇතුලත් වීම, 1923 දී එම පිරිවෙණේම ආචාර්ය පදවියට පත්වීම 1936 දී විද්‍යෝදය පිරිවෙණේ උප ප්‍රධාන ධූරයට පත්වීම, 1954 දී ත්‍රිපිටක පරිවර්තනයේ ප්‍රධාන කර්තෘ ධූරයට පත් වීම, සංඝ නායක ධූරයට පත්වීම, විද්‍යෝදය පරිවෙණාධිපති ධූරයට 1956 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ අධිපති ධූරයට පත්වීම සිදු විය.

අධ්‍යාපන ආයතන ඇති කිරීම, පැවැත්වීම, පාලනය, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නියලීම, සෝරත නායක හාමුදුරුවන්ගේ් ජීවිතය පුරාම සිදු වූ දෙයකි. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ යුගයෙන් පසු විද්‍යෝදය පිරිවෙණෙහි ස්වර්ණමය වශයෙන් හැඳින්විය හැක්කේ ශ්‍රී සෝරත නාහිමි යුගයයි.

ශ්‍රී සෝරත නාහිමියන් 1963 ජුලි 17 වන දින අපවත් වූවත් ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයත් විද්‍යෝදය විශ්ව විද්‍යාලයත් පවත්නාතුරු ජීවමානයයි සඳහන් කළ හැකිය.

ත්‍රිපිටක පෙළ පොත් පරිවර්තනය කිරීමේ මණ්ඩලයේ සභාපති පදවියද, ප්‍රධාන කතෘ පදවියද සෝරත නාහිමියන් විසින් දැරූහ. ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සිහි කිරීම නිමිති කොට හික්කඩුව හෙට්ටිගොඩ තිලකාරාමයේ සහ නලාගස්දෙනිය නාගාරාමයේ අධිපති ධූරය දරමින් හෙට්ටිගොඩ සහ නලාගස්දෙනියේ ජයන්ති විද්‍යාල දෙකක් ආරම්භ කරමින් ගුරුවරුන් සඳහා තමන් වහන්සේගේ මුදලින් වැටුප් ගෙවමින් මහඟු සේවයක් සිදු කොට රජයට පවරා දී ඇත. දැනට නලාගස්දෙනියේ ජයන්ති විද්‍යාලය ලක්දිව ඇති විද්‍යාල අතර දියුණු විද්‍යාලයක් බවට පත්වී ඇත.

ශ්‍රී සෝරත නාහිමියන් නොයෙකුත් පදවි දැරුවත් ඒවා උන්වහන්සේ සොයා ආවා මිස උන්වහන්සේ පදවි සොයා නොගියේය.

විද්‍යෝදය විශ්ව විද්‍යාදලය ආරම්භ කරමින් මහඟු සේවයක් සිදු කොට වදාල ශ්‍රී සෝරත නාහිමියන්ගෙන් බිහි වූ උගතුන් මෙරටේ බොහෝය. සුනාමි ව්‍යසනයේදී ශ්‍රී සෝරත නාහිමියන් ඉදි කළ පැරණි ධර්ම ශාලා මන්දිරය අනාථ වූ විශාල පිරිසකට සෙවන දුන්නත් මේ වන විට එම ශාලාව දිරාපත්ව අබලන්ව පවතී.

ශාස්‌ත්‍රීය පුනරුදයේ පරමාදර්ශි යතිවරයාණෝ

පහත සදහන් ලිපිය ලියුවේ පුජ්‍ය වැලිපිටියේ ඉන්දානන්ද හිමි
සම්භාව්‍ය භාෂා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

(2013 ජුලි 17 දිනට යෙදුණු වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ 50 වැනි ගුණානුස්‌මරණය වෙනුවෙනි.)

මේ මාගේ ය, මේ අනුන්ගේ යෑයි සිතන්නෝ බොල් අදහස්‌ ඇත්තෝ වෙති. උදාර අදහස්‌ ඇති උතුමන්ට මේ මුළු ලොවම එකම පවුලකි.’ යනු මහාකවි විෂ්ණු ශර්මන් පඬිවරයාගේ කියමනකි. මේ කියමන අනුව මුළු ලෝකයා කෙරෙහි සම සිතින් සාධාරණ ව සිතන මතන උතුමෝ ලොව පහළ වීම දුලබයහ. එවැනි දුලබ උතුමන්ගෙන් කෙනෙකි අතිපූජ්‍ය රාජකීය පණ්‌ඩිත සාහිත්‍ය චක්‍රවර්තී මහෝපාධ්‍යාය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණෝ” යනුවෙන් එක්‌ වරක්‌ මහාචාර්ය කඹුරුපිටියේ වනරතන මහනාහිමියෝ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි චරිතය සංවර්ණනා කළහ. එහෙත් එයින් ප්‍රකාශ වන්නේ සෝරත නාහිමි අපදානයේ ඒකදේශයක්‌ පමණකි. උන්වහන්සේ කීර්තිශේෂභාවෝපගත වීමෙන් අඩසියවසක්‌ සපිරුණු මේ අවස්‌ථාව උන්වහන්සේගේ සන්නාමය ප්‍රතිස්‌මරණයට ඉතා උචිත අවධියයි. ඒ මන්ද, එවැනි ව්‍යක්‌ත ප්‍රතිබල, සම්පන්න සංඝපිතෘන් හා දුරදක්‌නා නුවණ පෙරදැරිව උන්වහන්සේලා විසින් සිදුකළ ජාතික, ආගමික හා ශාස්‌ත්‍රීය යන තෙවැදෑරුම් සේවාවන් සිහිපත් නොකිරීම මෙකල අතොරක්‌ නැතිව ඉස්‌මතු වන ජාතික, ආගමික හා ශාස්‌ත්‍රීය විලෝපකයන්ට සුවසහනය ගෙනදෙන බැවිනි.

ලක්‌ බුදු සසුනත් ශාස්‌ත්‍රීය ක්‍ෂේත්‍රයත් පුබුදුවන්නට සමත්කම් ඇති අනභිභවනීය අනාගත චරිතයක පෙරමඟ සලකුණු සෝරත සාමණේර චරිතයෙන්ම ප්‍රකට විය. උන්වහන්සේ ශාස්‌ත්‍රොaද්ග්‍රහණයෙහි අතිදක්‍ෂයෙකු වූවා පමණක්‌ නොව, ශික්‍ෂණයෙහිද නිපුණයෙක්‌ වූහ. ඒ අනුව භික්‍ෂූන් වහන්සේ නමක්‌ තුළ කුඩාකල සිටම පැවතිය යුතු ශාස්‌ත්‍රීය පරිඥානයත් ආත්ම ශික්‍ෂණයත් සෝරත සාමණේර චරිතය ඔපවත් කළේය. එහි අග්‍රඵලය වූයේ රට, දැය, සමය යන අවියෝජනීය ත්‍රිත්වය තවත් බොහෝ කලකට අඛණ්‌ඩව අවිච්ජින්නව පවතින්නට තරම් ශක්‌ති සම්පන්න වන ශ්‍රේෂ්ඨ භික්‍ෂු චරිතයක්‌ නිර්මාණය වීමයි. ස්‌වකීය ගුරුදේවෝත්තමයාණන් වූ කහව පේමරතන නාහිමිපාණන්ගේද නොමඳ ආශිර්වාදය ඇතිව 1917 වර්ෂයේදී එවකට මෙරට ප්‍රාචීන අධ්‍යාපනයේ මර්මස්‌ථානය වූ මාලිගාකන්දේ විෙද්‍යාදය පිරිවෙණට අන්තර්ග්‍රහණය වූ අතර එහිදී සිංහල, පාලි, සංස්‌කෘත යන භාෂාවන්හිද ඉතිහාසය, තර්ක ශාස්‌ත්‍රය, ව්‍යාකරණ හා ඡෙන්දාaලංකාර වැනි අවශේෂ ශාස්‌ත්‍රයන්ද ඊට නොදෙවෙනි වන්නට ත්‍රිපිටකය පිළිබඳ දැනුමද ප්‍රගුණ කළ සෝරත හිමියෝ වනපොත් කිරීමෙහි අතිදක්‍ෂයෙක්‌ද වූහ. මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම පුරාවිද්‍යාඥයා වන මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ සදාශ්‍රය සෝරත හිමියන් හට ලැබෙන්නේද විෙද්‍යාදය පිරිවෙණේදීය. ඒ දෙපල අතිශය හිතෛෂීහු වූහ. “භික්‍ෂූන් වහන්සේ නමක්‌ ලෙස උන්වහන්සේ විසින් ගත කරන ලද නිරවද්‍ය ජීවිතය සහ උන්වහන්සේ තුළ පැවති ගැඹුරු පාණ්‌ඩිත්‍යය නිසා මෙම දිවයින ආලෝකවත් කළ, එමෙන්ම සමස්‌ත බෞද්ධ ලෝකයෙන්ම මෙම දිවයින ප්‍රසිද්ධ වීමට හා ගෞරවයට හේතු වූ අනුරාධපුර මහාවිහාරස්‌ථානයෙහි විසූ ශ්‍රේෂ්ඨ මහතෙරුන් වහන්සේලාගේ ස්‌ථානය උන්වහන්සේටද හිමි වන බව මෙහිලා තවදුරටත් ප්‍රකාශ කළ යුතුය.” යනුවෙන් තම ඉෂ්ටමිත්‍ර සෝරත නාහිමියන් පිළිබඳ පරණවිතාන සූරීන් විසින් කළ නිර්වචනයෙන් එතුමාගේ සිතේ උන්වහන්සේ පිළිබඳ තිබූ අකුටිල හිතෛෂීභාවය මොනවට ප්‍රකට කෙරේ. සෝරත හිමියන් වෙතින් නිරූපණය වූ ශාසනික ළැදියාවත් ආගමික හැදියාවත් සුනිශිත හැකියාවත් හොඳින් වටහාගත් එවකට විෙද්‍යාදය පරිවේණාධිපතිව වැඩවිසූ කහවේ ශ්‍රී රතනසාර නාහිමියෝ වැඩිකලක්‌ නොගොස්‌ම උන්වහන්සේට විෙද්‍යාදය පිරිවෙණේ ආචාර්ය පදවියක්‌ පිරිනැමූහ. ඒ කාලය වන විට විෙද්‍යාදය පිරිවෙණේ ආචාර්ය මණ්‌ඩලය දේශදේශාන්තරවල පවා ප්‍රකට වූ කීර්තිය ඇති අනභිභවනීය ශාස්‌ත්‍රවන්ත ගිහි පැවිදි පඬිවරුන්ගෙන් ශෝභමාන වූවකි. එවැනි අතිසම්භාවනීය පණ්‌ඩිත පර්ෂදයක්‌ සමඟ සමතැන් ගැනීමට සෝරත හිමියන්ට අවකාශය ලැබුණේ උන්වහන්සේ සතු භාග්‍යයට පමණක්‌ම නොවේ. වයසින් තරුණ වුවත් දැනුමෙන් හා අවබෝධයෙන් ඉතා පරිණත වූ උන්වහන්සේට ඒ වන විට හිමි විය යුතු සුදුසුම තනතුර එයයි. සෝරත හිමියෝ විෙද්‍යාදය පිරිවෙණේ ආචාර්යවරයෙකුගේ භූමිකාවට පමණක්‌ සීමා නොවූහ. පාලකයෙකු වශයෙන්ද නායකයෙකු වශයෙන්ද එහිදී ලබාගත් සුපරිණතභාවය උන්වහන්සේගේ වටිනාකම වඩාත් උසස්‌ කළේය.

1936 දී විෙද්‍යාදය පිරිවෙණේ උපප්‍රධානචාර්ය ධුරයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ 1941 දී ශිෂ්‍යත්වයක්‌ දිනා කල්කටා විශ්වවිද්‍යාලයට ඇතුළු වී පාලි, සංස්‌කෘත, ඉංග්‍රීසි ආදී ප්‍රාචීන, ප්‍රතිචීන භාෂා පිළිබඳ ලත් ප්‍රාගුණ්‍යය උන්වහන්සේගේ ශාස්‌ත්‍රීය සේවාවට නව ප්‍රබෝධයක්‌ එක්‌ කිරීමට හේතු වූවා යෑයි සිතීම නිවැරදිය. ශාස්‌ත්‍රවන්තයෙකු වශයෙන් උන්වහන්සේගේ අකලංක ඥානමණ්‌ඩලය ප්‍රතීයමාන කරන අනභිභවනීය සාක්‍ෂි කිහිපයක්‌ මෙරට ශාස්‌ත්‍රකාමීන්ගේ මනදොළ සපුරමින් තවමත් විරාජමාන වේ. ඒ අතර තරල මිණ වශයෙන් සැලකිය හැක්‌කේ ශ්‍රී සුමංගල සිංහල ශබ්දකෝෂයයි. එය සිංහල ශබ්දකෝෂකරණයේ සැලකිය යුතු මංසලකුණකි. කිසි කලෙක අමතක කළ නොහැකි, නොමැකිය හැකි මතක සටහනකි. අද මෙරට විශ්වවිද්‍යාලයීය මට්‌ටමේ උගතුන් පවා ශ්‍රී සුමංගල සිංහල ශබ්දකෝෂයෙන් ලබන පිහිටාධාරය අනිර්වචනීය වූවකි. ඊට අමතරව සංස්‌කෘත ඡන්දශ්ශාස්‌ත්‍රය පිළිබඳ උනන්දු වූවන්ගේ දුෂ්කරතාව මඟහරිමින් වෘත්තරත්නාකරයට කළ සිංහල සන්න සහිත ව්‍යාඛ්‍යාවද හෙළ සඳැස්‌ නමින් එළු සඳැස්‌ ලකුණට කළ සවිස්‌තරාත්මක ව්‍යාඛ්‍යාවද කව්සිළුමිණ කල්පලතා නමින් තත් මහාකාව්‍යයට කළ සංස්‌කරණයද පරෙවි සන්දේශය, අමාවතුර, බුත්සරණ, දහම්සරණ, සඟසරණ, දහම්සොඬ යන ග්‍රන්ථවලට කළ සංස්‌කරණද සෝරත නාහිමියන්ගේ ඥානපාටවය තියුණු ලෙස විදහා දක්‌වයි. අශ්වඝෝෂයන්ගේ සෞන්දරනන්ද මහාකාව්‍යයට සෝරත හිමියන් විසින් කළ සම්පූර්ණ සිංහල පරිවර්තනයේ අත්පිටපත අයි.බී. විමලවංශසූර්ය මහතා විසින් පසුව සංස්‌කරණය කර ඇත. එයද උන්වහන්සේගේන් සිදු වූ උත්තරීතර සේවයකි.

මෙකී සියලු ශාස්‌ත්‍රීය කාර්යයන් පිළිබඳ සිහිපත් කරන අතර උන්වහන්සේගේ සච්චරිතය කෙරෙන් ඉස්‌මතු කරගත යුතු ඉතා වැදගත් ආදර්ශයක්‌ පිළිබඳ සිහිපත් කිරීමටද මෙය අවස්‌ථාවක්‌ කර ගත යුතුය. එනම්, විෙද්‍යාදය පිරිවෙණේ, පසුකාලීනව විෙද්‍යාදය විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා වශයෙන් ඉතා භාරදූර මෙන්ම කාර්යබහුල ජීවිතයක්‌ ගත කළද තමන් වහන්සේ ප්‍රගුණ කළ ශාස්‌ත්‍රීය ඥානයේ ආලෝකය අන්‍යයන්ට ලබාදෙනු පිණිස කරගෙන ආ ශාස්‌ත්‍රීය කාර්යයන්ට මඳ ඉසිඹුවක්‌ හෝ බලා නොදීමයි. උන්වහන්සේගේ දක්‍ෂතාව හේතුවෙන්ම පාලකයෙකුගේ කාර්යබහුලතාවෙන් අවහිර විය හැකි ශාස්‌ත්‍රීය ව්‍යාපාරයට මඳකුදු අසාධාරණයක්‌ නොවීය. පාලන කටයුතු අතර ශාස්‌ත්‍රීය විවේකය වෙනුවෙන්ද කැපවූහ. ඒ අනුව උන්වහන්සේ පාලකයෙකු වශයෙන් මතු නොව, උගතෙකු වශයෙන්ද අනන්‍ය සාධාරණයහ. එය, පාලකයන්ගේ වේශයෙන් ස්‌වීය ඥාන ගවේෂණය අකාලයේ විවේක ගන්වන වත්මන් පරපුරේ බොහෝ උගතුන්ට ඉතා ප්‍රයෝජනවත් වන ආදර්ශයක්‌ වන බව නම් නිසැකය.

1959 වර්ෂයේදී ආරම්භ කළ විෙද්‍යාදය විශ්වවිද්‍යාලය මෙරට ප්‍රමුඛ පෙළේ උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ වශයෙන් මෙපමණ කලක්‌ විරාජමාන වන්නට අවශ්‍ය වන අවිච්ජින්න ගමන්මගට අවශ්‍ය ශක්‌තිමත් පාදම වැලිවිටියේ සෝරත නාහිමියන්ගේ උදාර නායකත්වයේ මහිමයම බව විශේෂයෙන් සිහිපත් කළ යුතුය. නායකයෙකු වශයෙන් නිරන්තරයෙන්ම අන්‍යයන්ගේ අදහස්‌වලට සවන් දීමටත් අන් මතවලට ගරු කිරීමටත් යහපත අනුමත කරන අතර කෙතරම් බලවතෙකුගේ වූවත් අයහපත බැහැර කිරීමටත් කරුණු නිවැරදිව සොයා බලා ඉතා ඉවසිලිවන්තව නිවැරදිම හා වඩාත් උචිතම තීරණය ගැනීමටත් උන්වහන්සේ නොපැකිළුණහ. උන්වහන්සේගේ නායකත්වයේ විශිෂ්ටතාව විවරණය කරන සුළු එක්‌තරා සිදුවීමක්‌ මෙහිදී සිහිපත් කිරීම වටී. මල්වතු මහාවිහාරය මඟින් සෝරත හිමියන් වෙත ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයද ඇතුළුව උපාධ්‍යාය තනතුරක්‌ පිරිනැමීය. එහෙත් නායක තනතුරු ආදිය ලබාදීමේදී මල්වතු මහාවිහාරය අනුගමනය කළ වගකීම් විරහිත ක්‍රියාපටිපාටිය නො ඉවසා ඒ වෙනුවෙන් තමන් වහන්සේ කළ යහපත් යෝජනාවලට නිවැරදි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මූලස්‌ථානය මඟින් තමන් හට ප්‍රදානය කළ සියලු තනතුරු අත්හැරීමට තරම් උන්වහන්සේ නිරහංකාර වූහ. අනතිමානී වූහ. ත්‍යාගවන්ත වූහ. ඒ නායකයෙකු වශයෙන් උන්වහන්සේ තුළ පැවති නිකැළැල් දර්ශනය හේතුවෙනි. තමන්වහන්සේගේ යහපැවැත්ම නමැති කිරිබඳුන එවැනි ගොම බිඳුවකින් අපවිත්‍ර කරගැනීමට තරම් අධ්‍යාත්මික අපරිපාකත්වයක්‌ උන්වහන්සේට නොවීය. වර්තමානයේදී ඉතා සුලභව දක්‌නට ලැබෙන්නා සේ අයහපත ගරුකරන්නන් අතර තමන්ගේ පැවැත්ම, තනතුර කෙසේ හෝ ආරක්‍ෂා කරගැනීමේ මුවාවෙන් තමන්ගේ යහපත් අදහස්‌ අයහපතුන් අතර දියකර හැරීමට හෝ අමතක කිරීමට හෝ තරම් උන්වහන්සේගේ Rජුපටිපන්න පැවැත්ම දුබල නොවීය. සඅදුරු නොවීය. ශාස්‌ත්‍රීය හා ආධ්‍යාත්මික ශික්‍ෂණයෙන් සුපරිණත වූ ශ්‍රේෂ්ඨ සංඝපිතෘවරයෙකුගේ ස්‌වභාවය එයයි.

සෝරත නාහිමියන්ගේ සදාතනික ගුණනාමය නිහඬව ප්‍රකාශ කරන කටයුතු අතර උන්වහන්සේගේ නායකත්වය, දායකත්වය ඇතිව ආරම්භ කළ විෙද්‍යාදය විශ්වවිද්‍යාලය මූලිකත්වය ගනී. එය වනාහි සෝරත හිමියන් විසින් මෙරට අනාගත යහපැවැත්ම වෙනුවෙන් කළ අමිල ආයෝජනයකි. උත්කෘෂ්ඨ දායාදයකි. විෙද්‍යාදය විශ්වවිද්‍යාලයේ සමාරම්භය, එතෙක්‌ කලක්‌ විපිළිසරව සිටි ගිහි – පැවිදි ශාස්‌ත්‍රකාමීන් රාශියකට ඉමහත් අස්‌වැසිල්ලක්‌ විය. නොපසුබට වීර්යයෙන් අනූන වූ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් තත් විශ්වවිද්‍යාලය වැඩි කලක්‌ නොගොස්‌ම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයන් සමඟ සමතැන් ගැනීමට සමත් විය. එමතුද නොව, උන්වහන්සේ විශ්වවිද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් කෙතරම් කැපවූයේද කියතහොත් තමන් වහන්සේගේ විදේශ සංචාරවලදීද එක්‌ මූලික අරමුණක්‌ වූයේ ජාත්‍යන්තර මට්‌ටමේ විශ්වවිද්‍යාලවල තත්ත්වයන් නිරීක්‍ෂණය කර ඒ අතරින් විෙද්‍යාදය විශ්වවිද්‍යාලයේ ප්‍රගමනයට ඔබින සැලසුම් රැගෙන ඒමයි. ස්‌වකීය සුඛවිහරණය වෙනුවෙන් පමණක්‌ විදේශ සංචරණය තෝරාගන්නා පරිසරයක සෝරත හිමියන්ගේ අදහස කෙතරම් දුලබද? එසේම පරාර්ථකාමීද? එවැනි අවස්‌ථාවලදී තමන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වයට වඩා සැලකිලිමත් වූයේ රට වෙනුවෙන් තම සේවය ඉටු කිරීමයි. ‘උපකුලපති අරමුදල’ නමින් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ශුභසාධනය වෙනුවෙන් අරමුදලක්‌ පිහිටුවා තමන් වහන්සේට ලැබෙන මාසික වේතනයෙන් කොටසක්‌ ඒ වෙනුවෙන් පරිත්‍යාග කළහ.

ශාසනික හැඟීමෙන් ජාති වාත්සල්‍යයෙන් සෝරත නාහිමියන් හා සම කළ හැකි වෙනත් යතිවරයෙක්‌ මෑත කාලයේ වැඩ නොසිටි තරම්ය. එහෙත් ඒ වෙනුවෙන් කෑමොර ගසමින් අදූරදර්ශී, අපරිණත ප්‍රවේශයන්ගෙන් විනිර්මුක්‌ත වූ උන්වහන්සේ එම දෙ අංශයේම අභිවෘද්ධිය වෙනුවෙන් යුහුසුළුව කැපවූයේ දුරදක්‌නා නුවණින් හෙබි, ශික්‍ෂා සමාපන්න, පරමාදර්ශී යතිවරයෙකු වශයෙනි. බෞද්ධ විශ්වවිද්‍යාලයක්‌ වශයෙන් විෙද්‍යාදය විශ්වවිද්‍යාලයේ අනාගත සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය අන පනත් කිසිලෙසකින්වත් ප්‍රමාද නොකළහ.

 එය හුදෙක්‌ විශ්වවිද්‍යාලය වෙනුවෙන් ගත් තීරණයක්‌ නොව, ජාතියේ හා ආගමේ අනාකුල මතු පැවැත්ම වෙනුවෙන් දුරදක්‌නා නුවණින් යුතුව නිර්භය තීරණයකි. රට, ජාතිය, ආගම වෙනුවෙන් කැපවීම යනු තාවකාලික සුවසහනය ආස්‌වාදය හෝ බාල වර්ගයේ ජනප්‍රියත්වයත් ජනතා ආකර්ෂණයත් දිනාගැනීමේ අල්පායුෂ්ක, අවිධිමත් ව්‍යාපාරයක්‌ නොව සියවස්‌ ගණනාවක අනාගතයටද බලාත්මක වන කාර්යාවලියකි. එහිදී කතාබහට වඩා වැදගත් වන්නේ සූක්‍ෂ්මකාරයෙන් ක්‍රියාත්මක වීමයි. ඒ වෙනුවෙන් උත්සුක වන්නෝ ශ්‍රී සෝරත නාහිමි චරිතය ආදර්ශයට ගනිත්වා! කෙසේවෙතත් සෝරත නාහිමියන් එවකට ගත් නිවැරදි තීරණ නොවන්නට අද වන විට මෙරට සිංහල ජාතියේත් බුදු දහමේත් ඉරණම මීට වඩා බොහෝදුරට වෙනස්‌වන්නට ඉඩ ඇති බව නම් නිසැකය. සැලකිය යුතු කාලයක්‌ බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව පැවති හෙයින් යටපත්ව, ජරපත්ව තිබූ ජාතික, ආගමික හැඟීම් පුනස්‌ථාපනයට මෙන්ම සිංහල, බෞද්ධ යන අවියෝජනීය, චිරසම්මත යෙදුම නො ඉවසන, ඊට අත්‍යන්තයෙන්ම ද්වේශ කරන ඇතමුන්ගේ ඇතැම් විෂම පැවතුම් යම් පමණකට හෝ විතැන් කිරීමට තරම් උන්වහන්සේගේ නැණවත් සැලසුම් උපායශීලීද දිගුකාලීනද විය. සෝරත හිමියන්ගේ කැපවීම නොවන්නට මෙරට ප්‍රාචීන අධ්‍යාපනය මේ තරමින් හෝ නොපවතින බව නිසැකය.

වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියෝ සුරතයහ, නිවාතයහ, අප්‍රතිමයහ, ධර්මධරයහ, විනයධරයහ, ශාස්‌ත්‍රධරයහ, සෘජු ප්‍රතිපන්නයහ, විස්‌තෘත ප්‍රඥයහ, සඡ්ජන හෘදයාහ්ලාදකරයහ. උන්වහන්සේ මෑතකාලයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම සංඝපිතෘන් වහන්සේ බව සනාථ කිරීමට තවත් ප්‍රමාණ පාඨ, රුවගුණ කීර්තනයන් කුමකටද? අපගේ ලංකාමාතාව අද දෑස්‌ දල්වා දෑත් දිගු කර අපේක්‍ෂා සහගතව මඟ බලාසිටින්නේ ශ්‍රී සෝරත හිමියන් මඟ අනුගමනය කරන එක්‌ අයෙක්‌ හෝ දෙදෙනෙක්‌ පමණක්‌ ආදරයෙන් වැළඳගැනීමට නොව, ඒ වෙනුවෙන් තුන්දොරම වෙහෙසන සෝරත නාහිමියන්ගේම චරිත ලක්‍ෂණවලින් උපශෝභිත ව්‍යක්‌ත, ප්‍රතිබල සම්පන්න ගිහි පැවිදි පර්ෂදයක්‌ තමන් වෙත එළඹෙනු ඇතැයි අපේක්‍ෂාවෙනි.

වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමි චරිතයට මෙම ලිපිය උපහාරයක්‌ වේවා!

sorathahimigana

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s