පූජ්‍ය කෝට්ටේ දේවානන්ද හිමි (1918-1990)

Ven Kotte Dewananda Thero


පූජ්‍ය කෝට්ටේ දේවානන්ද හිමියන් ගේ ගිහි නම කුරුවිට‍ ගේ ප්‍රේමදාස විය. ප්‍රේමදාස උපන්නේ 1918 ජනවාරි පළමු වැනි දින කෝට්ටේ දී ය. පියා කුරුවිටගේ ජොන් ද සිල්වා මහතාය. මව සිංහබාහු ආරච්චිගේ දෝන එන්සිනා හාමිනේ වූවාය. දෙමාපියන්ට සිටි එකම දරුවා වූ ප්‍රේමදාස කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ මූලික අධ්‍යාපනය ලැබ බටහිර ඔසුවේදී විභාගයට උගෙන ගෙන, ඉන් ද සමත්ව ඔසුවේදියෙකු වශයෙන් රැකියාව පටන්ගෙන, 1960 වන තෙත් එම රැකියාවෙහිම නිරත වී සිටි‍යහ. කුඩා කල සිටම එක්තරා හුරුවක් මේ ජීවිතය තුළ දිස්වන්නට විය. බොහෝවිට කෙළිසෙල්ලම් වශයෙන් සම වයසේ දරුවන් සමඟ එක්වී රෙදි කඩක් උරේ දමාගෙන මහණ වෙස් ගෙන බණකීම් කළ බව ප්‍රකටය.

තරුණ වියට පත් ප්‍රේමදාස, “සුසිලෝදය” නමින් තරුණ සංවිධානයක් පිහිටුවා ගෙන ප්‍රදේශයේ තරුණ පිරිස සමඟ ආගමික හා සමාජිය කටයුතුවල නිරත විය. යුගයේ අවශ්‍යතාවයන් සපුරමින් පින් බෙහෙත් ශාලාවක් ආරම්භ කළහ. ඊට බෙහෙත් බඩු රැස්කොට පෙරහරින් ගෙනවුත් භාරදීම පුරැද්දක් කොට ගත්හ. වෙසක් පෝය දිනවල සිසිල් පැන්, තැබිලි ආදිය බෙදා දෙන දන්සැලක් පැවැත්වූහ. අසරණ වූ සියලු දෙනාටම පිහිටවීම ජීවිතයේ ප්‍රධානතම අංගයක් කොට ගත්හ. සසර පුරුද්දක් නිසාදෝ නිතර සංඝයා වහන්සේලාගේ ඇසුර ඔහු ප්‍රියකළේය. එදා වැඩසිටි, උගත් ධර්මධර මාහිමිපාණන් වහන්සේ ලා ආශ්‍රය කරමින් ධර්මය ගැඹුරින් හැදෑරීම මේ අවදියේ පටන් ගන්නා ලදී. ධර්ම කරුණු ගැඹුරු චින්තනයකින් යුතුව හදාරන්ට වූයේ තමන්ගේ අදහස් සනාථ කිරීම වශයෙන් වාද-විවාදවල පැටලුන අවස්ථා ද ඇතිවූ බව දනිමු. එක වචනයකින් දෙන තේරුම දීමට තවත් වචනයක් නැති බවත්, ධර්මයෙහි එන සෑම වචනයකින්ම එක්තරා ක්‍රියා ස්වරූපයක්ම හඳුන්වන බවත් මෙතුමෝ තරුණ වයසේ දිම තේරුම් ගත්හ.තමාගේ දහම් දැනුම නව ආරක් ඔස්සේ යමින් තරුණ සංවිධානයේ සාමාජිකයින්ට තේරුම් කර දෙන්ට විය . මේ සඳහා කථාවට වඩා රූප සටහන් සහ වෙනත් උපමා රූපක ප්‍රයෝජනයට ගත්හ. සිය තරුණ පිරිස සමඟ කෝට්ටේ රාජමහා විහාරයෙන් ද, කැලණි රාජමහා විහාරයෙන් ද උපෝසත සීලය සමාදානය වීම චාරිත්‍රයක් වශයෙන් පටන් ගෙන, නොකඩවා ම එහි නිරත වූහ. එක දිගට තුන් දිනයක්, හත් දිනයක් වශයෙන් සිල් සමාදන්වීම පුරුද්දක් කොටගත් පළමුවන ගිහි පිරිස මෙතුමාගේ පිරිස වූහ.

මවගේ එකම පුතා ලෙස තරුණ වියට පත් වූ මෙතුමා මවට ඉමහත් ගෞරවයක් දැක්විය . මව විසින් කී සියල්ල ඉටු කළහ. එහෙත් එක් ඉල්ලීමක් පමණක් ප්‍රතික්ෂේප කළහ. තම පුත්‍රයා සහකාරියක සමඟ තැන්පත්වනු දැකීම මවගේ එක්තරා කැමැත්විය. මේ ඉල්ලීම පමණක් පිළිකෙව් කළ මෙතුමෝ මවට කරුණු පහදා දුන්නහ. රැකියාවක් කරමින් තමා ඉපයූ සියළු ධනය පින්කම් වලට වැය කළහ. ඒ වෙනුවට එතුමෝ ශ්‍රද්ධාවත්, සීලයත් , හිරියත්, ඔත්තප්පයත් ධනය වශයෙන් ගොනු කළහ. සමකාලීන උගත් බහුශ්‍රැත හිමිපාණන් වහන්සේලා හමුවෙමින් ධර්මය හදාරමින් සුත ධනය එකතු කළහ. එතුමා ළග උපතින්ම ගෙන එන ලද ප්‍රඥා ධනය නිධානයක් වශයෙන් තැන්පත්ව තිබිණි. තමාගේ පියා 1949 ජනවාරි 30 දින අභාවප්‍රාප්ත විය. ඊට පසු තම රුක්ම බැල්මේ පසු වූ , ආදණීය මව 1959 දෙසැම්බර් මස 08 වැනි දින පරලෝ සැපත් වූවාය.

මවගේ භුමදාන කටයුතු අවසන් කළ මෙතුමෝ ගේ දොර ඈ සියල්ලම අතහැර දමා ඇදිවත පමණකින් සෑහීමකට පත්ව පැවිදි බිමට ඇතුළුවීමේ බලවත් අධිෂ්ඨානය කරපින්නා ගෙන මහ මගට බැස්සාහ.

ශ්‍රී කළ්‍යාණ යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවා වදාල – කඩවැද්දූව ශ්‍රී ජිනවංශ මහානායක මාහිමිපාණන් වහන්සේ ඇසුර ලබා , උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් මෙතුමෝ 1960 ජනවාරි පළමුවැනි දින ප්‍රවෘජ්ජා භූමියට ඇතුළු වූහ. කෝට්ටේ දේවානන්ද නමින් සසුන් ගතව පැවිදි ජීවිතයට අවශ්‍ය ධර්ම විනය පුහුණු කර ගැනීම සඳහා ආරණ්‍ය සේනාසනයක් සොයමින් සිට, පුහුල්වැල්ලේ ආරණ්‍ය සේනාසනය තම යෝගාවචර භූමිය වශයෙන් තෝරා ගත්හ. මෙහි වනවාසි කුටියක හුදකලාව වාසය කරමින් තමාගේ සුතමය ඥානයත්, චින්තාමය ඥානයත්, භාවනාමය ඥානයත් උද්දීපනය කරන්ට වූහ.

මේ යුගයෙහි කොළඹ ජර්මන් ධර්මදූත ආශ්‍රමයේ දායක පිරිස එකී ආශ්‍රමය භාරකාරත්වය සඳහා සුදුසු හිමි නමක් සොයන්නේ, තමන්ගේ අභිප්‍රාය පූජ්‍ය කඩවැද්දූව ශ්‍රී ජිනවංශ මාහිමිපාණන්ට සැළකළහ. මේ ගැන සිත් මෙහෙය වූ එතුමෝ යෝගාවචරයාණ කෙනෙක් වශයෙන් කීර්ති ඝෝෂාවක් ලබා ඇති , තමන් වහන්සේ ගේ ශිෂ්‍යරත්නය වන කෝට්ටේ දේවානන්‍ද යෝගාවචරයාණන් මේ කාර්යෙහි සමත් බව එක හඩින් තීරණය කර, කොළඹට වඩින ලෙස ඉල්ලා සිටිය සේක.

තමන් වහන්සේ නගරයක සිට වනවාසයට පත්වූයේ සසර කෙටිකර ගැනීමේ එකම අභිලාශයෙන් බව පැහැදිලි කළද , සිය දිවි දෙවෙනි කොට ගරු කරන ගුරු දේවයාණන්ගේ ඉල්ලීම පැහැර හැරිය නොහැකිකම තදින් සිතේ බලපාන්ට විය. දෙවැනිව හැම විටම අමාරු කාරියක් කරගසා එය සාර්ථක අන්දමින් ඉටුකරලීමේ අධිෂ්ඨාන ශක්තිය නිසා, ඕනෑම අභියෝගයකට නොබියව මුහුණදීමේ සහජ ගතිය බලපාන්නට විය. තෙවැනිව බටහිර සංස්කෘතියට නැබුරු වෙමින් , සුඛෝපභෝගීගතියට හුරු වෙමින් සිටින මහ පිරිසකට තමන්ගෙන් සේවාවක් ඉටුවිය යුතුය, යනුවෙන් මතු වූ “සබ්බපානි හිතානු කම්පි” මානව දයාව බලපාන්ට විය. මේ ත්‍රිවිධ බලපෑම් නිසා තමාගේ සිත තුලින් ම නැගීගත් බ්‍රහ්මාරාධනාව හෙවත් ,උතුම් ආරාධනාවට ඡන්දය දෙමින් 1964 මාර්තු මස කොළඹට වැඩම කර , ජර්මන් ධර්මදූත ආශ්‍රමයේ අධිපති වශයෙන් කටයුතු භාරගත්හ.

තවද, මෙකල විජේරාම මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙ හි අධිපති ව වැඩවිසූ , මිරිස්සේ ගුණසිරි මාහිමිපාණන් වහන්සේ අපවත් වූයෙන්, එහි අධිපති ධූර‍යට සුදුසු හිමිනමක් සොයාදෙන ලෙස එහි දායක පිරිස යෝගාශ්‍රම සංස්ථාවේ අධිපතින් ආරාධනා කළහ. මෙ සඳහා ද උන්වහන්සේගේ තේරීම වූයේ කෝට්ටේ දේවානන්ද මාහිමිපාණන්මය. මේ අනුව 1970 විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපතිකම ද භාරගැනීමට උන්වහන්සේට සිදුවිය.

තමාගෙන් ශාසනයට ඉටුවිය යුතු මෙහෙයත්, සමාජයට ඉටුවිය යුතු මෙහෙයත් ගැන සලකා බලා ඒ ඉටු කරලීමේ උපාය මාර්ගය සංවිධාන කර ශ්‍රී කල්‍යාණ ධර්ම සංවිධානය නමින් සංවිධාන හයකින් සමන්විත ආයතනයක් ගොඩනැගූහ. මේ සංවිධාන උපයෝගි කොට ගනිමින් මේ වීරෝත්තමයාණන් විසින් දසක තුනක් පුරා කරන ලද සදහම් විප්ලවය ගැන බිඳක් සදහන් වෙයි. දස දහස් ගණනක් නිවන් මගට යොමුකරමින් තිස් වසරක් පුරා කරණ ලද මහා සේවාව අගය කරන්නට වචන නැත. 1990 අගෝස්තු මස 14 වැනි අඟහරුවාදා උදැසන අති මහත් ජනතාවකට දහම් දෙසමින් නැනපහන් දල්වා ජීවිත සැනසීම උදාකළ ඒ මහා පහන නිවි ගියාහ.

අනන්ත අප්‍රමාණ සත්ත්වයන් නිවා සැනසූ ඔබ වහන්සේ ද අමා මහ නිවන් සුවයෙන් සැනසෙත්වා ’ යි ප්‍රාර්ථනා කරමු.

DOWNLOAD TALKS BY VEN DEVANANDA MAHA THERO