පුජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමියෝ

Kotikawaththe-Saddathissa-Thero
යෝ හොති වියත්තෝච ව්සාරදෝ,
බහුස්සුතෝ ධම්මධරෝ ව හොති,
ධම්මස්ස හොති අනු ධම්මචාරී,
සතාදිසෝ වුච්චති සංඝ සොභානෝ.

යමෙක් ව්යාක්ත නම්, විශාරද නම්,බහුශ්රුදත නම්, ධර්මධර නම්, ධර්මයට අනුව හැසිරේ නම්, එබඳු භික්ෂුව “සංඝ ශෝභන” යයි කියනු ලැබේ. සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ, දේශණා කළ ධර්මය තව දුරටත්, දසදහස්වස් කල් ස්ථාපිත කිරීම අරභයා , මිහිඳු මාහිමිපාණන් මිහින්තලා පව්වේදී ප්රතිස්ථාපනය කල ශ්රී් සද්ධර්මය ගම් නියම ගම්, දනව්, පසල් දනව්, පුර, විසල් පුර ආදී වශයෙන් ව්යාප්ත කරලීම සඳහා ඒ මිහිඳු මාහිමිපාණන් වහන්සේ ඇතිකළ සඟ පරපුර අද දක්වාම අඛණ්ඩව එම කාර්යය ඉටු කරමින්, මෙරට පමණක් නොව පිට රටවල පවා බුදුසමය ප්රුචලිත කොට මිසදිටු අඳුරේ ඇලී ගැලී සිටින ජනතාව, දහම් ආලෝකයෙන් නහවා, පඥා ප්රදීපය දැල්වීම සඳහා මේ සඟ පරපුර අතින් ඉටුවන්නේ අනුපමේය මෙහෙයකි. මහාවිහාර පරපුරෙන් ආරම්භවූ මෙරට ධර්ම දුත චාරිකාව අභයගිරිය ආදී බුදු සමය ප්රචලිත කිරීමේ තවත් කේන්ද්රීරය ආයතන බිහිවී, එයිනුත් ශාඛා ප්රශාඛා, ලෙස ඇතිවී, පොදු ජනතාවගේ සිත් සතන් තුල සදහම් බෙහෙත් ගල්වා ලෝකෝත්තර සුවයක් ලබා දීමට එදා මෙදා තුර බුද්ධ ශ්රාවකයන් වහන්සේලා ගන්නා තැත සුළු පටු නොවේ. මිහිඳු මාහිමියන් උදා කළමෙරට සංස්කෘතික හා ආගමික ප්රබෝධයෙන් ආස්වාදය ලත් සංඝ සෝභන ගුණයන්ගෙන් හෙබි යතිවරුන්ගෙන් අප ලක් දෙරණ ආලෝකමත් විය. කාලීන අවශ්යතාවයන් උදෙසා, අපේ සංඝ පීතෘන් සසුනත්, සමාජයත්, භාෂා සාහිත්ය ආදී කී නොකී හැම දෙයක්ම ආලෝකමත් වීම දක්නට හැකිවේ. මේතාක් කල් ලෝකයේ සංඝ සමාජයේ වංශය දෙසට නෙත් හෙලුවොත් එය එසේ සිදුවී ඇතැයි පසක් කර ගැනීම අසීරු කරුණක් නොවේ. ශ්රේෂ්ඨ සඟරුවනේ ප්රතිභාව අසා අපිදු ආහ්ලාදයට පත් වන්නෙමු. උන්වහන්සේගේ එබඳු ගුණ ඇසීම අපට භාග්යයකි. ගතට සිසිලකි. මනසට සුවයකි. දහම් අමා වතුරෙන් පොලෝ තලයේ හුදී ජනයාගේ දුක් ගිනි නිවාලූ එබඳු උතුමාණන් කෙනෙකුන්ගේ චරිතය කියවීමත් සොම්නසකි.

පුජ්‍ය කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමියෝ

බොරැල්ලේ කෝවිධ හිමියන් විසින් ලියන ලදී.

උපත.

හෙළ විරුවන්ගේ රුධිරයෙන් පෝෂණය වූ ඓතිහාසික මුල්ලේරියාවට නොදුරු, කොඩි ගහ වත්ත (දැන් කොටිකාවත්ත ලෙස හැඳින්වෙන ) බුදු පහසින් සිහිල් වූ කැලණිය ශුද්ධ භුමිය පිස එන පින් සුවඳ රැගත් මද නලින් සනහුන සශ්රීික ගම් පියසකි. එහි ගම්පති පවුලේ සාමාජිකයෙක් වූ කුරුවිට ආරච්චිගේ ගේබ්රියෙල් අප්පුහාමි සහ දෝන ප්ර‍න්සිනා අරන්දර හාමිනේට හිමිවු තවත් දරු සම්පතෙකි. දිනය 1918 ජුලි මස 21 විය. ඒ උපන් දරුවා කුරුවිට ආරච්චිගේ සිරිසේන යැයි නම් කරන ලදී.

ළමා විය.

කඩිසර, දඟකාර, කටකාර , හුරුබුහුටි, කුඩා දරුවා එම පවුලේ අන්තිමයා විය. එම නිසාම මව් සෙනෙහසට වැඩි උරුමයක් ඔහුට හිමි විය. කොටිකාවත්තේ බැප්ටිස් විදුහල සහ දෙමටගොඩ ශාන්ත මැතිව් යන විදුහල් දෙකින් අධ්යාපනය ලත් ඔහු , පාසල් කාලයේදී “අකීකරු පුත්‍රයා” “දේව දුතයා” වැනි ආගමික නාට්යවලින් දක්ෂ නළුවෙකුගේ සැටියක් පෙන්වීය. මේ නිසාම ඔහු සිය ආගමට බඳවා ගැනීමට එම පාසලේ අදිකාරී පාදිලිතුමා දැඩි කැමැත්තක් දැක්වීය.
දෛවෝපගත අවස්තාව එලබුනේ මේ සමයේදීය. සිය නිවසට නුදුරු පන්සලේ වැඩසිටි තලකිරියාගම සරණංකර නා හිමියන්ගේ මග පෙන්වීම ලබමින් භාෂා ශාස්ත්ර හා කථික ශක්තිය සමග ගුණ නුවනින් සරුවු දුටුවන් නෙත් සිත් බැඳගන්නා මේ කුඩා කුමරා දේව දුතයෙක් නොව බුද්ධ පුත්රකයෙක් බවට පත් විය. උන්වහන්සේ නිතරම සිහි කරන එක් අවස්තාවක් මෙහි සඳහන් කළ යුතුය.
සිරිසේන දරුවා පැවිදි වීමට කොළොන්නාවේ පන්සලට පැමිණුනේ අලි ඇතුන් සහිත මහ පෙරහැරකිනි. කුඩා සිරිසේන ඇතා පිටට නැගුනේ තාප්පයක් මතට නැගීමෙනි. එහෙත් ඇතාගේ පිට වැදී ප්ර්කාරය බිඳ වැටුණි. කුඩා සිරිසේන ඇතාගේ පිට මත රැදුනි. යන යකා කොරහත් බිඳගෙන යන්නා සේ සිරිසේන කුමරු නැවත නොඑන ලෙස ගිහි ගෙයින් නික්මුණි. පියා සුසුම් ලමින් හඬත්දී මව්, සාදු සාදු යැයි ප්රීති නාද කලාය.

පැවිදිවීම හා අධ්‍යාපනය

1930 වසරේ ජුලි 21 වැනිදා , කොලොන්නාවේ පුරාණ රජ මහා විහාරයේදී, කොටිකාවත්තේ සද්ධාතිස්ස යන පැවිදි නමින් සසුන් ගත වුයේ කොලොන්නාවේ ශ්‍රී සුගුණසාර නායක මාහිමියන් සහ කලපලුවාවේ දේවානන්ද නාහිමි හා ආභිධම්මික ගාල්ලේ සුමනසාර හිමි යන පැවිදි යතිවරයන්ගේ ආචාර්යත්වයෙන්ය. එම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් සිය ශාසන අද්‍යාපනය කල සද්ධාතිස්ස හිමියෝ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළුව වසර අටක් පමණ කාලයක්  ද්විතීයක සාංඝික අධ්‍යාපනය ලද්දේය. අතිගරු පලන්නොරුවේ විමලධම්ම,  අති පුජ්‍ය කලුකොඳයාවේ පඥාසේකර  මහානාහිමි, වැනි පැවිදි පඬිවරුන්ගෙන් උගෙන ගත් උන්වහන්සේ ශිෂ්‍ය කාලයේ සිටම ඉතා ව්‍යාක්ත දේශකයෙකුගේ ලක්ෂණ ප්‍රදර්ශනය කළහ.

උපසම්පදාව

ශීල භාවනාදී ගුණයන්ගෙන් පමණක් නොව හෙළ, සකු, මගධ දැනුමෙන් හ මනා ව්යාක්ත ධර්ම කථික භාවයෙන් පිරිපුන් උන්වහන්සේ 1938 ජුලි මස 21 වැනිදින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා  සංඝ සභාව වෙතින් උපසම්පදාව ලැබුහ.

ධර්ම ප්‍රචාරය

දුටුවන්ගේ මන නුවන් බඳවන මනා වූ උපධි සම්පන්න රූප ස්වභාවයකින් සහ ලගන්නා සමිහිරි මධුර ස්වර යෙන් යුත් උන්වහන්සේ ගේ ධර්ම කථිකත්වය ගැන අසා පැහැදුන මහාචාර්ය ගුණපාල මලලසේකර මැති තුමාගේ ඇරයුමෙන් ගුවන් විදුලියේ ධර්ම දේශණා කරන්නට පටන් ගත්  සද්ධාතිස්ස හිමියන් ඉතා දක්ෂ ධර්ම දේශකයාණන් වහන්සේ කෙනෙක් ලෙස  ඉක්මනින්ම අති මහත් ලෙස ප්‍රසිද්ධියට පත් විය. ඒ නමුත් තම දේශකත්වයට තමන් ගුරු කොට ගත්තේ අති ගරු පැලෑනේ වජිර ඥාන මහ නා හිමියන් සහ අති පුජ්‍ය නාරද හිමියන් කළ දේශණා බැව් සද්ධාතිස්ස හිමියන් නිතර කීවේ උන්වහන්සේගේ නිහතමානී බව ප්‍රකට කරමිනි.

ජාත්‍යාන්තර ධර්ම දුත සේවය.

1958 අවුරුද්දේ බුරුමයේ පැවති ජට්ටමහා සන්ගායනාවටද, ඉන්පසු 1961 දී බුරුමය, සියම් දේශය, කාම්බෝජය, ආදී  පෙරදිග  බෞද්ධ රටවල ධර්ම දුත චාරිකාවේ යෙදුණ සද්ධාතිස්ස හිමියෝ ආරම්භයේ සිටම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ බෞද්ධ උපදේශක මණ්ඩලයේ සාමාජිකයෙක් ද වුහ. ගුවන් විදුලි බෞද්ධ උපදේශක මණ්ඩලයේ දිගු කලක් සාමාජිකත්වය දැරූ නාහිමියෝ දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ගම්, නියම් ගම් වල සැරි සරමින් ඉතා නොදියුණු අප්‍රකට ගම්වල පවා අධ්‍යාත්මික සංවර්ධනයට කළ මෙහෙවර අති විශාලය. වැල්ලම්පිටියේ පරම ධර්මෝදය විහාරයේ වැඩ වෙසෙමින් එම විහාරස්ථානය සියළු විහාරාංග වලින් සම්පුර්ණ කිරීමට උන්වහන්සේ බොහෝ දැඩි උත්සාහයක් දැරීය. ගරුතර සද්ධාතිස්ස හිමියන් ස්වකීය පැවිදි බිමට ඇතුළුවූ කොළොන්නාවේ පුරාණ රජ මහා විහාරයේ අධිපති ලෙස පත්වුයේ 1961 අවුරුද්දේය.

අගනුවරට ආසන්නයේ ඉපැරණි විහාරයක් වුවත්, දහස් නමේ පින්කම්, ධර්ම ශාලා තුනක එක වර සති පිරිත් තුනක් දේශණා කැරවූ, පිං කෙතක් බඳු මේ මහා විහාරස්ථානය, කාලයේ  වැලි තලාවෙන් වැසී වැනසී යමින් තිබු අඳුරු යුගයක් නිමා කර යලි කල එලි ගන්වා සකලාංගයගෙන් පිරිපුන් විහාරයක් බවට පත් කිරීමේ මහා ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් ද මේ සමග ආරම්භ විය. අභිනව චෛත්‍ය රාජයා, ඝන්ඨාර ස්ථම්භය , බෝ මළුව හා ප්‍රකාරය, ආවාස මන්දිර, දාන ශාලා, සීමා මන්දිර,දේවාල මන්දිර, ධර්ම ශාලා, ශිෂ්‍ය නේවාසිකාගාරය, හා පවුරු පදනම් වලින් සපිරි  එදා දෙව්රම් වෙහෙර සිහි ගන්වන මහා විස්මිත පන්සලක් බිහි කිරීමට උන්වහන්සේ සමත් විය.

අන්තර් ජාතික සමුළු

දේශය තුළ ධර්ම ප්‍රචාරක කටයුතු කිරීමේ ඵලයක් ලෙස අලංකාර විහාරයක් නිර්මාණය කළ මාහිමියෝ  ඒ අතරම කොරියාව, තායිවානය, භාරතය, තායිලන්තය, වැනි පෙරදිග බෞද්ධ රටවලද බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව ආදී යුරෝපා රටවලද ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැළුණු අතර, තායිලන්තයේ වට මහා දාත් භික්ෂු විශ්ව විද්‍යාලයේ සංඝ සම්මේලනය, යුනෙස්කෝ ආයතනයේ ජගත් නිරායුධකරණ සම්මේලනය වැනි ජාත්‍යන්තර සංවිධානවලත්  සැසි වාර හා දේශනවලට සහභාගිවෙමින් රටට දෑයට සහ සමයට ගෞරව ලබාදුන්නේය. තමනට නිතර පෙනෙන තැනක එල්ලා තැබූ පුවරුවක “උඩඟු නොව මහණ” යන වැකිය ලියා  සිය නිහතමානි බව කිසි කලෙක නොපිරිහෙන සේ රැක ගන්නට උන්වහන්සේ කටයුතු කළේය.

ජාති භේද, පන්ති භේද නොතැකු නාහිමිපානන් වහන්සේ ට රජ ගෙයත්, දුගී පැලත්  එකසේ හුරු පුරුදු විය . සට කපට වංචනික බව එක්වරම පිළිකෙව් කළ උන්වහන්සේ හැඩගැන්වූ  විශිෂ්ටම සංඝ සෝභන ගුණයකි. “ සක්කෝ උජුච සුජුච” යනුවෙන් කියැවෙන පරිදි භික්ෂුවක් සතුවිය යුතු  “උජුපටි පන්න” ගුණය. උන්වහන්සේගෙන් ප්‍රකට විය. මොන ජගතා ඉදිරියේදී වුවත්, නොබියව. නොපැකිල තමාගේ වැටහීමේ අන්දමට නිවැරදි දෙය කීමට, බිනීමට හා  කිරීමට උන්වහන්සේ තුළ පිහිටියේ අසමාන පෞරුෂයකි.

ගස් වැල් වලට, මල් පළතුරු වලට, සතුන් සිව්පාවුන් සහිත ස්වභාව සෞන්දර්ය යට ප්‍රියකළ අප නා හිමියෝ  ඉතා සැහැල්ලු ගති පැවතුම් අනුව දිවි ගෙවූ උතුමෙකි..යමෙක් ක්‍රමානුකුලව නිවැරදිව සහ ලස්සනට කිරීමට දැඩි උනන්දුවක් දැක්වූ නාහිමියෝ තමාගේ සෑම ජන්ම දිනයකම තම ගුරු දෙමාපියන්ට පිං පිණිස අසමසම මහා පිංකම් කළහ. උන්වහන්සේගේ සැත්ත දෙවන ජන්ම දිනය සමරා ගත වුයේ දින දොළහක් පමණි.


විශිෂ්ට නිර්මාණ ශීලියෙකු වූ මෙතුමා අතට පත්වන පලිඟු කැටයක් ගල් කැටයක්, වීදුරු කැබැල්ලක් පවා විසිතුරු නිර්මාණයක්  ලෙස බිහිවුයේ සියල්ලන් විශ්මයට පත් කරවමිනි. විහාරස්ථානයේ ඇති ඉපැරණි පලිඟු පහන් ආදිය උන්වහන්සේගේ විවේක කාලයන්හි උන්වහන්සේම කල නිර්මානයන්ය.

කවරෙකුගේ වුවද දුකට, උණුවන හදවතක් තිබු සද්ධාතිස්ස හිමියන්ගේ කරුණා භරිත හදවත නිසා අදත් කුසට අහරක් හිසට සෙවනක් ලබන ජීවිත කොතරම්ද?

ව්‍යාජ වර්ණනාවන්ට අකැමැති වූ උන්වහන්සේ තම ජීවිතයේ සැන්දෑ සමයේදී වුවද ගතකලේ කාර්ය බහුල ජීවිතයකි.

ගරුතර නාහිමියනි, ඔබවන් පුතුන් වැදු මවුනට ඔබ වහන්සේ ගෞරවයකි. හැදු ගුරුන් වහන්සේලාට ආභරණයකි. ඇසුර ලැබුවන්ට සිතුමිණකි. උපන් දේශයට අභිමානයකි. පුහු ප්‍රචාරයට, ව්‍යාජ සිල්වත්  බවට, අනුන් හෙලා තමන් හුවා දැක්වීමට සිහිනෙන්වත් නොසිතු ගරුතර මාහිමියන් අන්‍යාගමික ගැහැට වලින් දුප්පත් බෞද්ධ දරුවන්, රෝගීන් බේරා ගැනීමට වැලිසර ලය රෝහල මුල්කර සිදුකළ ආගමික මෙහෙය, බෞද්ධ මහා සම්මේලනය , අමද්‍යප මහා සභාව, වරායේ බෞද්ධ සමිතිය ඇතුළු සිය ගණනක් ජාතික ආගමික සංවිධාන වලට මග නොමග කියා දෙමින් ඔබ වහන්සේ කල සේවය කෙසේ නම් අමතක කරන්නද?

වාසිය, ගෞරවය කව්රු බෙදා ගත්තත් සිංහල ජාතිය ලොව පවතිනා තුරු අමතක නොවන අයුරින් ඉටුකළ මෙහෙය අදත් ඉතා අප්‍රකටය. 1971 නව ආණ්ඩු ක්‍රම ව්යාවස්තාව සැකසෙන  විට 1972 ව්යාවස්තාවෙන් සම්මත කර තිබු ජාතික කොඩියේ තිබු බෝ පත් සතර වෙනුවට පුටු කකුල් හතරක් බඳු ලාංජන එයට ඇතුලත් වී තිබුණි. මුලික පිඹුරු පත අතට පත් විගස නායක මා හිමියන් මහත් සංවේගයට පත් විය.වහාම එවක පළාත් පාලන කටයුතු පිලිබඳ ඇමැති ධුරය දැරූ ආර්.ප්‍රේමදාස මහතාට කථාකොට මේ පිළිබඳව තමාගේ දැඩි විරෝධය පළකළහ. එහි ප්‍රතිඵලයක් ලෙස නැවතත් බෝ පත් සතර සහිත ජාතික කොඩිය සම්මත කෙරුණි.

පුවත්පත් පනතට එදා උන්වහන්සේ එරෙහිවුයේ ජාතික පුවත්පත්, පාලකයන්ගේ හොරනෑ බවට පත්වීමේ අවදානම මනාව වටහාගත් නිසාය, බොහෝ අය දේශ ප්‍රේමය ගැන කථා කලද , බෞද්ධ භික්ෂුන් වහන්සේ අතර සද්ධාතිස්ස හිමියන් වැනි දේශ ප්‍රේමියෙක් සෙවීම අපහසුය. 1986-87  යාපනයේ බිහිසුණු යුධ ගිනිදැල් පැතිරෙද්දී යාපනයේ සිංහල හමුදා කඳවුරට වැඩම කොට සිය ගණනක් ආබාධිත සෙබළුනට දහම් සිසිලස ලබා දුන් සේක. උන්වහන්සේගෙන් සිදුවුන ජාතික ආගමික මෙහෙවර ඉදිරියටත් ගෙනයාම සඳහා පුජ්‍ය කොලොන්නාවේ ධම්මික ස්ථවිර, පුජ්‍ය විටියල කවිධජ ස්ථවිර, කොලොන්නාවේ සුගුණ හිමි, ඌරල රාහුළ හිමි, කඩුගන්නාවේ සුමන හිමි, කනංකේ මංගල හිමි ආදී ශිෂ්‍යයන් රැසකට ගුරු දේවයන් විය.

මෙසේ තම ගමට සිදුවිය ටුතු සෑම යුතුකමක්ම නොපිරිහෙලා ඉටුකළ සද්ධාතිස්ස හිමියෝ තමාගේ ඉතාම සමීප  ඥාති සොහොයුරෙකුවූ ආචාර්ය එන්.එම්. පෙරේරා  වැනි ජාතික නායකයන් සමග වුවද එකඟ නොවන තැනදී  ඊට එරෙහිව යාම වැනි අදීන ලක්ෂණ උන්වහන්සේගේ චරිතය තුලින් දැක්ක හැක. දිනක් දිවංගත ඩඩ්ලි සේනානායක අගමැති තුමාට කල අවවාදයක් සිහි වේ.  අගමැති තුමා නිතර දුම් පානය කල බව ප්‍රකටය. ගරුතර මාහිමියෝ වරක් අගමැතිතුමාගේ දුම් පයිප්පය අතට ගත්තේය. “දැන්වත් මේක නතර කරන්නම බැරිදැ”යි දැඩි ස්වරයෙන් විමසීය. නිහතමානි සේනානායක අගමැතිතුමා සිනාසී දුම් පයිප්පය සාක්කුවේ දා ගත්තේය. ඒ නායක හාමුදුරුවන්ගේ ස්වභාවයයි. තමා අභිමුවට ආ කවරෙකු හෝ භික්ෂුවකට “සාදු” කියා ඇමතීම් ඇසුණු විට එය නිවැරදි කරමින් හාමුදුරුවන් වහන්සේ, ස්වාමින් වහන්සේ ආදී වචන මිස සාදු කියා සංඝයා නො අමතන ලෙස අවවාද කළේය.  බොරු ගෞරව නොපැතූ උන්වහන්සේ තමන්ද අනුනට චාටු නොදැක්වීය. අභාවප්‍රාප්ත ජනාධිපති විලියම් ගොපල්ලව ලංකාවේ පළමුවෙනි ජනාධිපති තුමා ගේ දැඩි ගෞරවය හිමිවූ නිසාම සැම වෙසක් දිනකම ජනාධිපති මන්දිරයේ වෙසක් බණ දේශණා කරන්නට එහි වැඩියේය.

සුවහසක් දේශීය, විදේශීය දනන්ගේ සිත් සතන් දහම් රසයෙන් කුළුගන්වා, දහම් පත පොත පල කරමින් ධර්මාලෝකය පැතිරූ ඒ අසාමාන්‍ය අති සම්භාවනීය මහා බුද්ධ පුත්‍රයන් වහන්සේ ගේ ඛේදනීය හදිසි අභාවය කියාපාන්නේ අපේ හැදියාවේ නිසරු බව නොවේද. මෙය මෙරට සාසන වංශ කතාවේ එක් යුගයක නියත අවසානයි. එදා උණු තෙල් කටාරමේ පැසී පිරිනිවන් පෑ කැළණි තිස්ස මහරහතන් වහන්සේට මෙන් ම පුරා කෘත අකුසලයක් නොවන්නට කුරා කුහුම්බියෙකුටවත් දැනුමැති සිතකින් වරදක් නොකළ ගරුතර නා හිමියන් වහන්ස ඔබ වහන්සේ ඒ ශෝකාත්මික ලෙස ඝාතනයට ලක් නොවන්නට ඇත.

KILLING
දිනය 1989 අගෝස්තු 3 වැනිදාය. නිතවත් දායක නිවසක දහවල් දානයට වැඩම කල නායක මාහිමියන් තමන් දෙපසින් වැඩසිටි කොළොන්නාවේ ධම්මික සහ විටියල කවිධජ යන සිය සිසු දෙනාම දෙස බලමින් වෛද්‍ය උපදෙස් පවා නොතකා ඉතා සැහැල්ලුවෙන් දැන් වැලදුහ. “ඔන්න මම අද වෙනදා නොවලදන ජාතිත් වලදුවා. මං ගැන ආරන්චියක්  ආවොත් ඇවිත් මාව බලලා යන්න” යැයි දායකයන්ට නොකියා කීවේ කුමක්ද?

කොලොන්නාවේ පුරාණ රජ මහා විහාරයේ ඝන්ටාරයේ සවස හතේ කණිසම නාද විය. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සිරිත් පරිදි වත් පිරිත් දේශනය හා බුද්ධ පුජාව සඳහා විහාරයට වැඩම කළහ. විහාරයේ ශිෂ්‍ය භික්ෂුන්ගේ පිරිත් දේශනය සවන වැකෙමින් තමන්ට ආරාධනාවක් සඳහා කොටිකාවත්තේ සිට පැමිණි බැව් කී “දායක” දේපලක් නාහිමි වෙත ලඟාවිය.

දහම් ඇස, නැණස, පනැස  යන තිනෙත් හරහා උණුසුම් ගිනි ගුලිය හිසට ඇතුළුවන මොහොතේත් ඔබ වහන්සේගේ මුවතුල රැදුනේ  “සුඛි හොන්තු” යන ඉමිහිරි මෙත් වදනම විය. ඒ කවර අසිරියක්ද හිමියනි? මරණය! ඔබ ගරුතර නායක මාහිමියන්ට සතුරෙකු නොවේ. දිගු ජාතික , ආගමික මෙහෙවරක යෙදී ගිලන්වූ ඔබ ගත හා සිත නැවත ශක්තිමත් කර ගැනීමට ලැබුන දිව්‍යමය විරාමයක් පමණි. පිරිපුන් බව ගිලිහී හරසුන් බොල්බව රජයන වත්මන් විපරීත කාලයේ ඔබවන්  දෑ වඩුවන්, සසුන් නියමුවන්, උචිත මේ පාපී ලොවට නොවේ. ඉතා සැහැල්ලු ලෙස ජීවත්වූ ඔබ වහන්සේ මරණය ඔබ කරා එනතුරු බලා නොසිට අල්පෙච්චාවෙන් සන්තුෂ්ටියෙන් සුහරතාවයෙන් මරුවා කරා ස්වේච්චාවෙන්ම වැඩම කළා නොවේද? නම් ගොත් නොදත් ඔහු ඔබට කුරිරු සතුරෙකු නොව අභිමතාර්ථ සාධනයට ආ “කුළුපග” මිතුරෙකු වුවා නොවේද?

පුරා දශක හයකට අධික කාලයක් “චරිත භික්කවේ චාරිකං……” යන බුදු වදන අනුව ගත කල ඔබ වහන්සේ කටුක දිවි ගමනේ යුගයක් නිමා කිරීමට පැමිණි පුද්ගලයාටත් පැවසු “සුඛි හොතු” (සුවපත් වේවා) යන මෙත් වදන මිනිස්කම හිසින් දරාගත් අපි දිවි හිමියෙන් අනුගමනය කරමු. ඒ මගම යමු.

සද්ධාතිස්ස හිමියන්ගේ ධර්ම දේශණා අසන්නට මේ බොත්තම ඔබන්න

Advertisements