1925-2000 මාපලගම විපුලසාර හිමි

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්ථවිර  විසින් ලියා 2010 දෙසැම්බර් 26 දින සිළුමිණ පුවත් පතේ ප්‍රසිද්ධ කල අනුස්මරණ ලිපියකි.

mapalagama

ශ්‍රී ලංකාවේ පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද කීර්ති නාමයක් දිනා සිටි කලාශූරී මාපලගම විපුලසාර හිමියන් අපවත් වී දස වසරක් සම්පූර්ණ වේ. ජාති, ආගම්, දේශපාලන භේදයකින් තොරව, උන්වහන්සේ අදත් ජන හදවත් තුළ ජීවත් වෙති. කාගේ වුවද නිර්මාණයක් ක්‍රමවත්ව කලාත්මකව සිදුකර ගැනීමට අවශ්‍ය වී නම් ඒ සඳහා විපුලසාර හිමියන්ගේ උපදේශය හා මග පෙන්වීම නැතිවම බැරි කාරණයක්ව තිබිණ.

ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයේ හා භාෂා ශාස්ත්‍ර අධ්‍යාපනයේ මූලස්ථානයක් ලෙස සැලකෙන රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනින් පැවිදි උපසම්පදාව ලබා පසු කාලීනව එහි අධිපතිත්වය ඉසිලීමට තරම් වාසනාවත් වූ මාපලගම විපුලසාර හිමියෝ, අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙනින් හා මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනින් ශාසනික වත් පිළිවෙත් හා ධර්‍ම විනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ ප්‍රවීණත්වය ලබා ගත්හ. උපතින්ම උරුම කරගෙන ආ හැකියාවන් රැසක් විපුලසාර හිමියන් සතුව පැවතියේය. මෙම හැකියාවන් මැනවින් නිරීක්‍ෂණය කළ මහාචාර්ය ජී.පී. මලලසේකර මහතා ඒ කුසලතා වර්ධනය කර ගැනීමට හා ඒ කුසලතාවන්ගෙන් රටට සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව රජයේ කලායතනයේ අධිපති ජේ.ඩී.ඒ. පෙරේරා මහතාට විපුලසාර හිමියන් හඳුන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර තුනක් මුළුල්ලේ රජයේ කලායතනයේ අධ්‍යාපනය ලැබූ විපුලසාර හිමියෝ කලාකරුවකු ලෙස සමාජයේ ඉහළ පිළිගැනීමට ලක්වූහ.

සිය කලා කුසලතා උද්දීපනය කර ගැනීමට කලායතනයේ මග පෙන්වීම උන්වහන්සේට පිටිවහලක් වූයේය. තරුණ භික්‍ෂූන් වහන්සේ නමක් හැටියට නිර්මාණ කරණයේලා දැක්වූ දස්කම් විස්කම් බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය. සුප්‍රකට මාධ්‍යවේදී ඩී.බී. ධනපාල මහතාගේ උපදෙසින් ‘ලංකාදීප’ පත්‍රයේ පළවූ ‘ලොකු වැඩ කරන පොඩි සාදු’ නම් වූ ලිපිය මෙම නැඟී එන පැවිදි කලාකරුවා රටට හඳුනා ගැනීමට අගනා අනුබලයක් වූයේය. සිංහල ශිල්ප කලාවේ විශාල පසු බැස්මක් පවත්නා බව දුටු විපුලසාර හිමියෝ එවකට දිවයිනේ ප්‍රකටව සිටි කීර්තිධර කලාකරුවන් ඒකරාශී කොට 1951 වසරේදී ජාතික කලා පෙරමුණ පිහිටුවා ගැනීමට පියවර ගත්හ. එම පෙරමුණ මඟින් විසිරී සිටි කලාකරුවන් ඒකරාශී කිරීමෙන් ද සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන සංවිධානය කරෙමින් ද කලාකරුවන්ගේ කුසලතා සංවර්ධනයට මඟ පෙන්වමින් ද ඇති කරන ලද ප්‍රබෝධය සිංහල කලාවේ අභිවර්ධනයට ඉමහත් අනුබලයක් විය.

අපේ රටේ අගනා කලා නිර්මාණයක් ලෙස සැළකෙන ගොක් කලාවට ප්‍රමුඛත්වය ලබා දුන්නේ විපුලසාර හිමියන් විසිනි. පන්සලේ, පල්ලියේ කෝවිලේ පමණක් නොව රජ ගෙදරටත් සම්භාවනීයයන්ගේ වේදිකාව සැරසීමටත් ගොක් කලාව උපයෝගී කර ගැනීමට පටන් ගැණුනේ විපුලසාර හිමියන්ගේ මඟ පෙන්වීම නිසා බව කිව යුතුය.

ලංකාවේ බුදු පිළිම නිර්මාණයට නව ජීවයක් ලැබුණේ විපුලසාර හිමියන් නිසාය. විවිධ විචිත්‍ර බුදු පිළිම නිර්මාණය කෙරෙමින් ප්‍රතිමා කලාව විපරීතභාවයට පත්කර තිබූ අවදියක නියම බුදුගුණ විදහා දැක්වෙන කලාත්මක බුදු පිළිම නිර්මාණයට පිළිපන්නේ විපුලසාර හිමියන්ය. ඉන්දියාව පුරා සැරිසරා විවිධ සම්ප්‍රදායයන්ට අයත් කලාකරුවන් විසින් නිර්මාණය කරන ලද අගනා කලා කෘති නරඹා ඒ පිළිබඳ පර්යේෂණාත්මක ගවේෂණයක යෙදී ලබා ගත් අවබෝධයත්, බුදු දහම හා බුද්ධ චරිතය පිළිබඳ ලබා සිටි සියුම් දැනුම හා අවබෝධයත් නව ආරක කලාත්මක බුද්ධ ප්‍රතිමා නිර්මාණයෙහිලා විපුලසාර හිමියන්ට ප්‍රබල ශක්තියක් ලබා දුන්නේය.

කලාශූරී මාපලගම විපුලසාර හිමියන්ගේ නිර්මාණ කුසලතාවන් හා කලා කෞශල්‍යය මොනවට පිළිබිඹු කොට දක්වන අගනා නිර්මාණයන් හැටියට කොළඹ ආනන්ද විද්‍යාලයේ බුද්ධ ප්‍රතිමාව, විහාර මහා දේවි උද්‍යානයේ නිමා කොට ඇති ලෝහමය බුද්ධ ප්‍රතිමාව, කොළඹ රජ ගෙදර ප්‍රතිමාව හා කොස්සින්නේ රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමාව උදාහරණ වශයෙන් දැක්විය හැකිය. ගෞතමයන් වහන්සේගේ මහා පෞරුෂය, මහා කරුණාව හා ප්‍රඥාව කැටි කොට ගත් සමාධි ලක්‍ෂණයන් ගෙන් අනූන මෙම බුද්ධ ප්‍රතිමාවන්ට සමාන කළ හැකි වෙනත් නිර්මාණයක් දැකිය හැකිදැයි සැක සහිතය.

පාප් වහන්සේගේ ආරාධනයෙන් 1974 වසරේදී වතිකානුවට වැඩම කළ විපුලසාර හිමියෝ රෝමය ගී‍්‍රසිය ආදි රටවල පවත්නා විවිධ කලාත්මක නිර්මාණයන් ද මයිකල් ඇන්ජලෝ ආදී විශිෂ්ට ගණයේ කලාකරුවන්ගේ අගනා කෘතීන් ද දැක බලා ලබාගත් දැනුම හා පරිචය ද උන්වහන්සේ තම නිර්මාණවලට දායක කරගත්හ.

ෆයිබර් ග්ලාස් උපයෝගී කොට ගෙන බුද්ධ ප්‍රතිමා නිර්මාණය ආරම්භ කළේ ද විපුලසාර හිමියන්ය. එය අතිශයින්ම ජනපි‍්‍රය භාවයට පත් නිර්මාණ විශේෂයක් විය. ලන්ඩන්, වොෂින්ටන්, නිව්යෝක්, බර්ලින්, පැරිස් ආදී ලෝකයේ විවිධ නගරවල විහාරස්ථානවල දක්නට ලැබෙන්නේ විපුලසාර හිමියන්ගේ් නව නිර්මාණයන්ට අයත් අගනා බුද්ධ ප්‍රතිමාවන්ය.

විපුලසාර හිමියන්ගේ කැපවීම නිසා හෙළ කලාව ජාතියේ අභිමානයට ලක්වූ අතර අන්තර්ජාතික වශයෙන් ද කීර්තියට පත්විය. රටේ නව කලාකරුවන් රැසක් බිහිවීමට ද මග සැලසුණේය. උන්වහන්සේ ලබා සිටි අන්තර්ජාතික කීර්තිය නිසාම 1974 පාප්වහන්සේ ලංකාවට සැපත්වන අවස්ථාවේ එතුමාණන් පිළිගැනීමේ උත්සව මණ්ඩපය සැලසුම් කිරීමේ කාර්ය භාරය පැවරුණේ ද විපුලසාර හිමියන්ටය. උන්වහන්සේ එම කාර්යය ජාතියේ අභිමානය පිළිබිඹුවන අන්දමින් ඉටු කළහ.

1984 වසරේදී රජය මගින් කලාශූරී ගෞරව නාමය විපුලසාර හිමියන් වෙත පිරිනැමීය. විපුලසාර හිමියන්ගේ සේවය කලාවට පමණක් සීමා වූයේ නැත. රටේ භික්‍ෂු අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා ද අර්ථවත් සේවාවක් ඉටු කළෝය. පරමධම්ම චේතිය පිරිවෙන ආරම්භ කොට දියුණුවට පත්කළ අතර පිරිවෙන් ගුරුවරුන් පුහුණු කිරීම පිණිස පරමධම්ම භික්‍ෂු අභ්‍යාස විද්‍යාලයක් පිහිටුවීමට ද පුරෝගාමී වූහ. එසේම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ගොඩනැඟීමට ද ප්‍රමුඛව ක්‍රියා කළහ. තම ආරාමය තුළ නිදහස් වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කොට විශාල පිරිසකට වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට උපකාර කළහ. තමන් වහන්සේ වැඩියෙන්ම අගය කළ හෙළ කලාවේ සංවර්ධනය, පෝෂණය හා ව්‍යාප්තිය පිණිස විපුලසාර සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටුවා එමගින් ශිෂ්‍යයන් පුහුණු කිරීමටත් අගනා කලා කෘති ජනතාව අතරට පත්කර ලීමටත් විධිවිධාන සැළසූහ.

නැතිවී ගිය බෞද්ධ උරුමයන් ලබා ගැනීමත් බුදු සමයට එරෙහිව විටින් විට නැඟී ආ බලවේගවලට එරෙහිව ක්‍රියා කිරීමත් අරමුණු කොට ගෙන උන්වහන්සේ ආරම්භ කළ ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය ප්‍රබල සංවිධානයක් වූයේය.

ඉන්දියා මහා බෝධි සංගමයේ මහ ලේකම් පදවිය පිරිනැමීම විපුලසාර හිමියන්ගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවකි. ඓතිහාසික ඉන්දියානු බෞද්ධ සිද්ධස්ථානවලට සුදුසු දැන උගත් භික්‍ෂූන් වහන්සේ පත්කොට එම ආයතන ආරක්‍ෂා කර ගැනීමට හා එමඟින් ආගමික හා ශාසනික මෙහෙවරක් ඉටුකිරීමටත් උන්වහන්සේ සුවිශාල වැඩ කොටසක් ඉටු කළහ.

ලෝක බෞද්ධ රාජ්‍යයන් හා ජන කොටස් අතර සම්බන්ධතා තහවුරු කිරීම පිණිසත් බුදු දහම තුළින් ලෝක සාමය උදාකර ගැනීමත් සඳහා අන්තර්ජාතික මට්ටමේ සම්මන්ත්‍රණ, සාකච්ඡා හා දේශන නිරතුරුව සංවිධානය කිරීමට විපුලසාර හිමියෝ ක්‍රියා කළහ. ලෝක සංඝ සම්මේලනයේ ආසියාතික ලේකම් ධුරය විපුලසාර හිමියන් වෙත පිරිනැමීම මේ කාර්යයන් වඩාත් සඵල කර ගැනීමට අනුබලයක් විය.

කලාශූරී විපුලසාර හිමියන් තුළ පැවතියේ ප්‍රගතිශීලි චින්තනයකි. සමාජවාදී රාජ්‍යයන්ගේ ඇසුර මේ චින්තනය ඔපවත් වීමට හේතුවක් විය. 1956 වසෙර්දී මේ රටේ සිදුවූ දේශපාලන පෙරළියේ අගනා කාර්ය භාරයක් ඉටු කරමින් පංච මහා බලවේගයට සහාය වෙමින් නව රජයක් බිහි කිරීමට සක්‍රීයවම උපකාර කළහ. එපමණක් නොව බණ්ඩාරනායක මහතා බිහි කළ චින්තනය අගය කෙරෙමින් එම දේශපාලන දර්ශනය ඔස්සේ රටේ භාෂා සංස්කෘතික දියුණුවක් හා ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම පිණිස කළ හැකි කළ යුතු සියලු දේ ඉටු කළහ.

ගතානුගතික චින්තනයෙන් බැහැරව ධර්‍මවිනයට අනුකූලව ශාසනයේ උන්නතිය පිණිස ඉවහල් වන ඕනෑම කාර්යයක් ඉටු කිරීමට විපුලසාර හිමියෝ පෙරමුණ ගත්හ. බෞද්ධ කාන්තාවන්ගේ නැතිවී ගිය ශාසනික උරුමයක් වන පැවිද්ද හා උපසම්පදාව නැවත ආරම්භ කිරීමට පුරෝගාමී නායකත්වයක් ලබා දුන්නේ උන්වහන්සේය. විවිධ විවේචන විරෝධතා එල්ල වුවද තමන් ගන්නා ක්‍රියා මාර්ගය ධර්‍ම විනයට අනුකූල බව දන්නා උන්වහන්සේ නොබියව හා එඩිතරව එය සාර්ථක කරලීමට පියවර ගත්හ. බෞද්ධ රටවල ථෙරවාද මහායාන භික්‍ෂූන් වහන්සේලා හා බෞද්ධ නායක නායිකාවන් රැසක් ඉන්දියාවේ බුද්ධගයාවට රැස්කොට බෞද්ධ සම්මන්ත්‍රණයක් පවත්වා විනය කර්‍මයක් සිදු කොට භික්‍ෂුණී ශාසනය නැවත ආරම්භ කළේය. විපුලසාර හිමියන්ගේ මෙම එඩිතර ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵල වශයෙන් ලංකාවේ භික්‍ෂුණී ශාසනය ස්්ථාපිත වී ඇති අතර දහස් ගණනක් භික්‍ෂුණීන් වහන්සේලා ශාසනික සේවාවන්හී යෙදී සැදී ක්‍රියා කෙරෙති.

ජාතික හා ආගමික සමගිය වෙනුවෙන් නිරතුරුවම ක්‍රියාත්මක වූ විපුලසාර හිමියෝ පල්ලියේ කෝවිලේ සිදු කෙරෙන ජාතික ආගමික සේවාවන්ට ද තම සේවය නොපැකිලව ලබා දුන්හ. රටේ සාරය හා සමෘද්ධිය උදාකර ගත හැක්කේ සියලු ජාතිකයන් හා ආගමිකයන් අතර ඇතිකර ගන්නා අන්‍යොන්‍ය අවබෝධය හා විශ්වාසය මත බව විපුලසාර හිමියෝ තරයේ විශ්වාස කළහ.
SL_LOGO
1972 වසරේදී නව සිරි ලංකා ජන රජයට රාජ්‍ය ලාංචනයක්  නිර්මාණය කිරීමද සිදුවුයේ පුජ්‍ය විපුලසාර හිමියන් අතිනි. කලාශූරි මාපලගම විපුලසාර හිමියෝ ප්‍රගතිශීලි චින්තනයකින් යුතුව කලාවත්, අධ්‍යාපනයත්, ශාසනික කටයුතුත් විෂයෙහි නොමැකෙන සේවාවක් ඉටු කළ සදානුස්මරණීය නමක් දිනා සිටි අති දක්‍ෂ මහා යතිවරයෙකි. මේ නිසාම උන්වහන්සේ වෙත ගලා ආ කීර්ති ප්‍රශංසා හා ගෞරව සම්මාන විශාලය.

ඒ කිසිවකිනුදු උඩඟු භාවයකට පත් නොවූ උන්වහන්සේ වඩාත් අල්පේච්ඡ බව අගය කරමින් නිහතමානීව ජනතා සේවාවේ නිරත වූහ. විපුලසාර හිමියන්ගෙන් පුරප්පාඩු වූ හිදැස පිරවීමට සමත් අයකු මෙතෙක් බිහිවී නොමැත.

විපුලසාර හිමියන්ට නිවන් සුව අත්වේවා.

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්ථවිර විසින් ලියන ලදී