පැලෑනේ සිරි වජිරඥාන මහ නාහිමිපාණන්

Pelene Thero

ධර්ම භාණ්ඩාගාරය, ජංගම පුස්තකාලය, ජංගම විශ්ව කෝෂය, යනාදී විරුදාවලී ලත් මහ පඬි රුවනක් සිරි ලක බොදු දනන් සෝ සයුරේ ගිල්වා 1955 වසරේදී  අපවත්වී වදාළහ.  ඒ බුදු සසුනටත් හෙළ දැයටත්, හෙළ බසටත්, මහා සේවාවක් කළ සිල්වත්, ගුණවත්, නැණවත්, මහා පඬි රුවනක් වූ පැලෑනේ  සිරි වජිරඥාන මහනාහිමිපාණන් වහන්සේය.

1978 නොවැම්බර් මස 25 වැනි දින දකුණු වැලිගම පැලෑනේ  හෙළ බොදු පවුලක උපත ලද උන්වහසේගේ පියාණන් වුයේ එවකට දකුණු ලක, මහ පඬිරුවනක් වූ තුඩාවේ පඬිතුමා ලෙසින් බොහෝ දෙනා දැනගෙන සිටි දොන් අන්ද්රියෙස් පණ්ඩිත ගුණවර්ධනය. මව් තොමෝ පැලෑනේ දෝන ගිමාරා සේරසිංහ මාතාවෝය. ගමේ පන්සලෙන් මුලික අධ්‍යාපනය ලත් මේ ගුණවර්ධන දරුවා මිරිස්සේ  දෙබස් පාසැලින් සිංහල උගත්හ. උන්වහන්සේගේ පියතුමා ඔහුට අවුරුදු 12 දී පමණ අභාවයට පත් වීම ගිහි ගෙය හැර පැවිදි වීමට ඔහු පෙලඹවූ ඒක කාරණයක් විය හැකිය. පියතුමා ගෙ අභාවයෙන් තෙවසරකට පසු කඹුරුපිටියේ දේවගිරි විහාරස්ථානයේ විහාරාධිපති , වේරගම්පිට සිරි රේවත හිමියන් ළඟ 1893 ජුනි මස 25 වැනි දින පැවිදිවූ පැලෑනේ  සිරි වජිරඥාන සාමනේර හිමියන් 1896 වසරේදී කොළඹට පැමිණ එවකට සිරිලක මහා සිප් හළවූ හික්කඩුවේ සිරි සුමංගල හිමියන් විසින් පිහිටුවන ලද විදුදය මහ පිරිවෙනට ශාශ්ත්‍රෝත්ග්‍රහණය පිණිස ඇතුළත්විය.

ත්‍රිපිටක වාගීශ්වර සිරි සුමංගල හිමියන්ගේ සෙවනේ ත්‍රිපිටකය උගනිමින් ධර්ම ශාස්ත්‍ර අතින් තම හපන්කම් දැක්වුහ. 1900 වර්ෂයේදී විද්‍යෝදය පිරිවෙනේ විශිෂ්ටතම ශිෂ්‍යයාට පිරිනමනු ලබන “ශ්‍යාමරාජ” ත්‍යාගය දිනා ගැනුමට සමත්ව තම ගුරු හිමි වරුන්ගේ පැසසුමට ලක් වුහ.අවුරුද්දකට පසු 1901 අප්රේcල් මස 20 වැනිදින උන්වහන්සේ ඉහල උපසම්පදාව ලද්දේය.

පිළිවෙත් සසුන් මැද පිරි සිල්        ගුණ කන්ද
නැණවත් පඬි අතර නීති ජය දද         බැන්ද
ගුණ යුත් මහරු දැනුමැති කරවන         නන්ද
විදුමක් මාහිමි සළසයි රස             මකරන්ද

පාමංකඩ හන්දියට නොදුරුව හැව්ලොක් පාරේ සුවිසුද්ධාරාමය පන්සලේ ට්වකට ලැගුම් ගෙන සිටි වජිරඥාන හිමියන් ගෙ ධර්ම ඥනයටත් චතුර දේශකයත්වයටත් පැහැදුණු දායක පිරිසක් 1901 දී පමණ බම්බලපිටියේ ධර්ම ශාලාව උන් වහන්සේට පුජා කර උන් වහන්සේ එහි වඩම්මවා ගතහ.පසුව මෙම අසපුව උන්වහන්සේගේ නමින් වජිරාරාමය ලෙසද එය පිහිටි මාවත වජිර පාර ලෙසද නම් විය. බ්‍රිතාන්‍යය ආණ්ඩුව මගින් රට පාලන කල එසමයේ අගනුවර සියළු මං මාවත් විදේශිකයන්ගේ නමින් නම් කරන ලද නමුත් වජිරාරාමයට යන පාර වජිර පාර ලෙස නම් කිරීමෙන්ම උන්වහන්සේ ගැන සුදු පාලකයන්ගේ ද වූ ගෞරවය හෙළි වෙයි.


පැලෑනේ  සිරි වජිරඥාන මහ නාහිමිපාණන් බම්බලපිටියේ කුඩා අසපුවකින් ඇරඹු ධර්ම ශාස්ත්‍රීය සේවාව, පෙර අපර දෙදිග ලොව මුළුල්ලේම පැතිරී යන්නට විය. පැලෑනේ  සිරි වජිරඥාන මහ නා හිමි පාණන් අතින් සැකසුන නිබන්ධන අතර වෙසෙස් තැනක් හිමි වනුයේ  ධර්ම දානය පිණිස ලියවුනු පොත් පත් වලටය. “බෞද්ධ ළමයා” සඟරාවෙන් හා “ලක් බුදුසසුන” ධර්ම පත්රිකාවෙනුත් වජිරඥාන නාහිමියන් ඇරඹු ධර්ම ශාස්ත්‍රීය සේවාව නිසා ලක් දිව බොදුනුවෝ පැහැදිලි ධර්ම මාර්ගයකට නැඹුරු වුහ. අර්ථ රසය, ධර්ම රසය, ශබ්ද රසය මැනැවින්කැටි කොට  දෙසු දහම් ඇසු විද්වත් හු පවා මවිත වුහ. දහම් දෙසීමේදී විශිෂ්ට ධර්ම කථිකත්වයක් දැක්වූ වජිරඥාන හිමියන්ගේ දම් දෙසුමක් අසා සිටි එවක විදුදය මහා පිරිවෙන් පති මහගොඩ ඥානේස්වර හිමියෝ “වජිරඥාන බණ කීමට මහ බ්‍රහ්මයා විසින් ඒවා ඇති කෙනෙක්”යැයි කිවූ බව සඳහන් වේ.

කල සේවාව හෙළයට බුදු සසුන වෙත
මෙතෙකැයි කියා නිම නොපෙනෙයි අපරිමිත
දම් පැතිරීම උදෙසා ලොව හතර අත
හිමි ඔබ නොගත් වෙහෙසක් ඉතිරිවී නැත.
මවු ගුණ දක්වමින් දරුවන් යහ මග යවන්නට සරල සිංහල පඩි නිර්මාණය කල මෙ නාහිමියෝ
දිනේ පටන් මා උපන්න
මවු විඳි දුක් බැහැ කියන්න
දොහොත් මුදුන් තබා මෙන්න
වඳිමි මවුනි පවු ඇරෙන්න

අඩන කලට මා නලවා
ආදරයෙන් නිදි කෙරුවා
කැත කුණු මගෙ අත ගැවා
මවු තුමී ඔබ බුදු වේවා.
යනාදී කවි ලියමින් ජාතියේ උන්නතිය උදෙසා දරු පිරිසක් ඇති කිරීමට දහම් පහන දෑල්වුහ.
1918 දී අමරපුර මහා නිකායේ ශ්‍රී ධර්මකීර්ති පාර්ශවයේ මහා නායක ලෙස උන්වහන්සේ පත් කරනු ලැබීය.

ප්‍රථම  ගුවන් විදුලි ධර්ම දේශනාව ඉදිරිපත් කිරීමේ මහා භාග්‍යය ලත් වජිරඥාන හිමිපාණෝ පැයකින්  නිමවන ධර්ම දේශනා ශෛලියේ නිර්මාතෘ වුහ. 1928 වර්ෂයේ    දී වජිරඥාන හිමිපාණන් වහන්සේ පැවැත්වූ පළමු ගුවන් විදුලි ධර්ම දේශනාවෙන් පසුව ගුවන් විදුලියේ බෞද්ධ ආගමික අංශය ඇතිවීම තුලින් බෞද්ධ ප්රුබෝධයක් ඇතිවිය. වජිරඥාන හිමිපාණන් වහන්සේ ගේ විනීත, සංවරශීලී ශීලවන්ත ගුණය නිසාම බම්බලපිටියේ වජිරාරමයත්, වජිර ඥාණ දහම් පාසැලත් බස්නාහිර පළාතේ, මහා බෞද්ධ මධ්යවස්ථාන බවට පත් වුනි. ඩඩ්ලි සේනානායක, එස්.ව ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක , රොබට් ගුනවර්දන වැනි ලංකා දේශපාලනයේ කැපී පෙනෙන චරිත වජිරඥාණ දහම් පාසැලේ සිසුන් බව සඳහන් වේ, එවක දේශපාලකයන් පමණක් නොව මහ විද්වත් තෙරවරු හා පඬිවරු වජිරාරාමයට පැමිණ මා හිමි පාණන් වහන්සේ ඇසුරු කිරීම සිරිතක් විය.

වජිරඥාන හිමියන්ගේ පැවිදි සිසු රුවන් අතර නාරද නාහිමි, මඩිහේ සිරි පඥාසීහ නාහිමි, අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමි , පියදස්සි නාහිමි යනාදී හිමිවරුනට හෙළ බුදු සසුනේ හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. බුදු සසුනට අභීතව අදීනව අපරිමිත මහා සේවාවක් ඉටු කල වජිරඥාන නාහිමි පාණන් වහන්සේට අපේ ප්රනණාමය හිමි වීමට උන් වහන්සේ බිහි කල පැවිදි සිසු පරපුර එදා සිට අද දක්වා කරනු ලබන ශාසනික සේවාවම ප්රිමාණවත්ය.


සිල්වත් දැහැමි ගුණ ගරුක බෞද්ධ සමාජයක් ගොඩ නගන්නට කටයුතු කල වජිරඥාන ණා හිමියන් ආමිස පුජාවට වඩා ප්ර තිපත්ති පුජාවට නැඹුරු වීම උන් වහන්සේගේ පැවිදි ජීවිතය පුරාම කැපී පෙනෙන ලක්ෂණයකි. බුදු දහමත්, සිංහල භාෂාවත්, ආරක්ෂා කරන්නට උන්වහන්සේ නිතරම කටයුතු කල බැව් උන්වහන්සේ ලියන ලද හැම ලියවිල්ලකින්ම පැහැදිලි වේ.
1955 සැප්තැම්බර් මස 21 වැනිදින සියළු සංස්කාර ධර්මයන් අනිත්‍යය බව සිහිපත් කරමින් වජිරඥාන මහා ස්වාමින් වහන්සේ අපවත්වී වදාළහ. උන් වහන්සේගේ ශ්රීි දේහය නිදහස් චතුරශ්‍රයේදී ලක්ෂ සංක්‍යාත බෞද්ධ අබෞද්ධ ජනතාවකගේ සෝ සුසුම් මැද්දේ අග්නි ජාලාවක වෙලී වා තලයට මුසු වුවත් ඒ ශ්‍රී නාමය බුදු සසුන ලොව පවතිනාතුරා අමරණීයව පවතිනු ඇත.

සාමවීනිසුරු බන්දුල සේනානායක මහත්මා 
විසින් බුදු සරණ පත්තරයට ලියන ලද ලිපියකි

පුජ්‍යපාද පැළෑනේ වජිරඥාණ ස්වාමින් වහන්සේ කල ගුවන් විදුලියේ පළමු ධර්ම දේශනාව
අසන්නට පහත ඇති ලකුණ ඔබන්න


%d bloggers like this: