අති පුජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමි

Rerukane-Himiපොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ උපත ලැබුවේ 1897 ජූලි මස 19 වැනිදා ය. උපන් ගම රේරැකාන නම් අප්‍රසිද්ධ ගමයි. ගිහි නම රූබෙල් ගුණවර්ධන යි.

සහෝදර සහෝදරියන් හය දෙනෙකුගේ වැඩිමලා මහනාහිමිපාණන් වහන්සේ ය. නායක හාමුදුරුවන්ගෙ පියා දොන් බස්තියෙන් ද පවුලිස් ගුණවර්ධන. මව මුණසින්හගේ පොඩිනෝනා. අධ්‍යාපනය ලැබුවෙ වීදියගොඩ පාසැලෙන් ය. ඒ දෙවැනි පන්තියට පමණි. පැවිදි වූ දිනය 1906 ජනවාරි 08 වැනිදා ය. ගුරු හාමුදුරුවෝ බුරුම ජාතික ඌ විනයාලංකාර නායක හාමුදුරුවෝ ය. 1908 ජනවාරි 27 වැනිදා බුරුම රටට වැඩම කර අවුරුදු දහයක් පමණ එහි සිට දහම් අධ්‍යාපනය ලබා ඇත. මහත් වැර වෑයමින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන අතරම උන්වහන්සේ 1917 ඔක්තෝමිබර් මස 26 වන දින බුරුම රටේ ධමිමිකාරාම සීමාවේ දී අධිශීල සංඛ්‍යා උපසමිපදාව ලැබුහ.

ඉන් පසු නැවත ලක්දිවට වැඩමකළ උන්වහන්සේ දෙමටගෙඩ මහා විසුද්ධාරාම විහාරයේ වැඩවාසය කරමින් ලක්වැසියන් හට බොඳු මඟ කියාදෙමින් සහ බෞද්ධ ග්‍රන්ථකරණයේ යෙදෙමින් උදාර හා සමාජීය මෙ‍හෙවරක් ඉටු කළහ.එවිට උන්වහන්සේට වයස අවුරුදු 29 ක් පමණ විය. උන්වහන්සේ මුලින්ම ලියා ඇති පොත නිර්වාණ විනිශ්චය නම් පොත ය. ඉන් පසුව ද වටිනා දහම් පොත් තිහක් පමණ ලියා ඇත.මේ වනවිට මහන දම් පුරන ලංකාවේ සියළු භික්ෂුන්වහන්සේලා ට මේ පොත් පෙළ ත්‍රිපිටකය තරමටම ප්‍රයෝජනවත් වී ඇත. සිංහල බෞද්ධ ගිහියන්ටද නිර්වාණ අවබෝධය සඳහා මේ තරම් උදව් වන වෙනත් පොත් ගොන්නක් නැත.

මෑත යුගයේ බුද්ධ ධර්මයට මහත්ම සේවාවක් සිය ලේඛනවලින් ලබා දුන් අති පුජ්‍ය මහා නායක ස්වාමින් වහන්සේ ශත වර්ශයකට ආසන්න කාලයක් ආයු වළඳා 1997 ජුලි 4 වැනිදා අපවත් වී වදාළහ

Divider

මේ පහත දැක්වෙන ස්වයං චරිතාපදානය උපුටා ගත්තේ පුජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සංස්කරණය කර ප්ර්කාශනය කල චරිත කථා පොතෙනි. 

ගුවන් විදුලිය සඳහා කල සාකච්චාවකදී මහා නාහිමියන් තමන් වහන්සේගේ වචනයෙන්ම කල ප්‍රකාශයන් මෙහි ඇතුලත් වෙන බව සලකන්න

REKN-HIMI

මා උපන්නේ රේරුකාන ගමේ. ‘රේරුකාන’, රයිගම් කෝරලේ අධිකාරි පත්තුවේ, බණ්ඩාරගම ආසනයේ පිහිට තිබෙන පුංචි ගමක්. විසාල වෙල්යායවලින් වට වෙච්ච ගමක්. ඒ වගේම ගොඩ ඉඩම්ද සැහෙන තරම් තියෙනවා. අද නම් අපේ ගමේ ගෙවල් හුඟක් තියෙනවා. ජනගනයත් හුඟක් ඉන්නවා. ඒ කාලේ තිබුනේ ගෙවල් දහයක් පහළොවක් විතරයි. අපේ ගේ තවමත් තියෙනවා. ගියොත් බලාගන්නත් පුලුවන්. ඒක මුලදී වහලට පරාල දාලා, පොල් අතු සෙවිලි කරලයි තිබුනේ. නමුත් දැන් පොල් පරාල දාලා රට උළු සෙවිලි කරලා තියෙනවා. අපේ ගෙදරට මට වඩා සෑහෙන වයසක් ඇතැයි කියලයි මං හිතන්නේ. 1897 ජුලි මාසේ 19 දා තමයි මගේ උපන් දිනය.ඒක සඳුදා දවසක් ය කියලයි මට මතක තියෙන්නේ. මගේ පියා දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන. මව මුණසිංහගේ පොඩි නෝනා . මගේ මවු පිය දෙපලම ගුණ යහපත් සැදැහැවත් අය.
House

මහා නාහිමියන් උපන් නිවස

අපේ පවුලේ මා ඇතුළු සහෝදර සහෝදරියන් හයදෙනෙක් හිටියා. මං තමයි වැඩිමලා. දැන් මේ වෙනකොට ඉතිරිවෙලා ඉන්නේ නංගි කෙනෙකුයි, මායි විතරයි. ඒ නංගිගේ නම සෙලෝ හාමි. එය පවුලේ දෙවැන්නා. නීලිස් ගුණවර්ධන, එඩ්මන් ගුණවර්ධන, ඇක්මන් ගුණවර්ධන, එඩින් ගුණවර්ධන, තමයි අනෙක් සහෝදරයන් හතර දෙන. දැන් ඒ හතර දෙනාම මැරිලා. මා ඉස්කෝලේ ගියේ දෙවැනි පන්තියට විතරයි. පළමුවෙනි පන්තියේදී ඉගෙන කතාවක් “මෝරුන් සහ තල්මසුන්ගේ සටනක්” තාමත් මට මතකයි. දෙවෙනි පන්තියේදී ඉගෙනගත්ත දේවල් මට මතක නෑ . නමුත් පළමුවෙනි පන්තියෙන් දෙවෙනි පන්තියට පාස් වුන හැටි නම් මතකයි. ව්භාග දවසේ ළමයි වාඩි කෙරෙව්වේ මූණට මුණලා හිටින විදියට. ගුරුතුමා ශබ්ද නගා කීවා, ‘තේ වතුර බීම ගුණයි’ කියලා. ඒ වාක්‍ය ලස්සනට අපේ ගල් ලෑලි වල ලියන්න කීවා. මට ඉතින් ඒක ලියන්න බැහැ.  ඉස්සරහ බංකුවේ වාඩි වෙලා හිටිය ළමයා හොඳට ලියලා තිබුනා. මං එයාගේ ගල්ලෑල්ල දිහා බලාගෙන ලිව්වා. එහෙම තමයි මං දෙවෙනි පන්තියට පාස් වුනේ. එතකොට මං දෙවෙනි පන්තියට පාස් වුණේ කොපි කරලා.

පැවිද්ද
මේ ශත වර්ෂය මුලදී, ඒ කියන්නේ 1906 දී බුරුම ජාතික විනයාලංකාර කියන හාමුදුරු නමක් ලංකාවට වැඩියා. උන්වහන්සේ ඉපැරණි පුජනීය ස්ථාන දැක ගැනීමටත්, වැඳ පුදා ගැනීමටත් එක්ක ලංකාවේ බොහෝ ප්‍රදේශවල සංචාරය කළා. එහෙම සංචාරය කරන අතර උන්වහන්සේ අපේ මේ ප්‍රදේශයටත් වැඩියා. වැඩලා මේ ලගම තියෙන ‘කුලුපන’ කියන කන්දේ ගල් ගුහාවක දින කීපයක් නතර වෙලා විවේකයෙන් හිටියා. මේ පළාතේ අය මේ බුරුම හාමුදුරුවන් ගැන පුදුම විදියට පැහැදිලා දාන මාන ආදියෙන් සලකන්න පටන් ගත්තා. මේ හාමුදුරුවන්ට හොඳට සිංහලත් බැහැ. ඒ වුනත් එන යන අයත් සමග කැඩිච්ච සිංහලෙන් කතා බහ කරනවා.ඒ විතරක් නෙවෙයි. ඒ හාමුදුරුවන් කැඩිච්ච සිංහලෙන් එන යන අයට බණත් කියනවා. මේ හාමුදුරුවන් ගැන ඇති වෙච්ච මහත් ප්‍රසාදය නිසා මේ පළාතේ සැදැහැවත් උදවිය උන් වහන්සේට සිවුරු, අට පිරිකර ආදිය හරියට පූජා කරන්නට පටන් ගත්තා. ටික දවසක් යනකොට උන් වහන්සේ කල්පනා කළා තමන්ට ලැබුණු පුද පරිස්කාර ඔක්කොම පුජා කරන්ටත් එක්ක, සියක් නමකට දානයක් දෙන්න ඕනෑ කියලා. දානය සඳහා වට පිට පන්සල් වල වැඩ ඉන්න හාමුදුරුවරුන්ට ආරාධනා කලත් ඒ ඇත්තන් ඒ ආරාධනාව පිළිගත්තේ නැහැ.  මේක මේ පළාතේ ඉන්න සැදැහැවත් බෞද්ධ පිරිසට ලොකුම ප්‍රශ්නයක් වුනා. ඒ වෙලාවේ වස්කඩුවේ සුභූති කියන හාමුදුරුවන් මේ කාරණය දැනගෙන, දානෙත් භාරගෙන, දානෙට අවශ්‍ය සියලුම සංඝයා ත් වදමවලා දුන්න. වස්කඩුවේ සුභූති හාමුදුරුවන් ඒ කාලේ ප්‍රසිද්ධ හාමුදුරු නමක්. ඒ වගේම එඩිතර බලවත් හාමුදුරු නමක්. දාන පිංකම ඉතාම හොඳින් කෙරුනා. පිංකම අවසන් වුනාම මේ පළාතේ ඉන්න සැදැහැවත් දායක පිරිස එකතුවෙලා සාකච්චා කළා, අපේ දාන පින්කමට වට පිටාවේ පන්සල්වල හාමුදුරුවරුන් නොවැඩිය නිසා අළුතින් පන්සලක් හදන්න ඕනෑ යි කියළා. ඔන්න ඔය දායක පිරිස එකතුවෙලා තමයි මේ ඉඩම අරගෙන මේ පන්සල හැදුවේ. මේ ඉඩමට ඉස්සර කිව්වේ “ඉදිකැටි දෙනිය” කියළා. ඔහේ නිකම් තිබුණ කැලෑ ඉඩමක්. ඒ කාලේ හොර හරක් ගෙනත් බැඳලා තියෙන්නෙත් මේ ඉඩමේ. ඔය නයි පොලොඟු වගේ දරුණු සර්පයන් අල්ලාගෙන ගෙනත් දාල තියෙන්නෙත් මේ ඉඩමට. මේ ඉඩමට අයිතිකාරයන් හුඟක් ඉඳලා තියෙනවා. ඒ කවුරුත් වගේ එකතුවෙලා තමයි මේක පුජා කරලා තියෙන්නේ. ඒ පුජාව කලේ බුරුම ජාතික විනයාලංකාර කියන හාමුදුරුවන්ටයි. මේ පන්සලට විනයාලංකාරය  කියන්නේ ඒ නිසයි.

විනයාලංකාර හාමුදුරුවන් කැඩිච්ච සිංහලෙන් එන යන අයට නිතර නිතර බන කිව්ව බව මං කලින් කිවුවා. බොහෝ විට උන්වහන්සේ පැවිදි වීමේ වටිනාකම, එහි ආනිසංස ප්‍රකාශ කළා. අපේ තාත්තත් නිතර නිතර යනවා ඔය බණ අහන්න. මට නම් අද හිතෙනවා  විනයාලංකාර  හාමුදුරුවන් පැවිදිවීමේ අගය ඒ තරමටම වර්ණනා කළේ බුරුම රට ගැන කල්පනා කරලයි කියළා. බුරුම රටේ වැඩි දෙනෙක් මහණ වෙනවා.  කොහොම වුනත් අපේ තාත්තත් නිතර මේ බණ අහලා ගෙදර ඇවිල්ලා අපටත් ඒ ගැන කියනවා. දවසක් තාත්තා මගෙන් ඇහැව්වා, “පුතේ උඹටත් මහණ වුනොත් නරකද? “ කියළා. එතකොට මගේ වයස අවුරුදු නමයක් විතර ඇති. මාත් ඉතින් කැමති වුණා මහණ වෙන්න. කුමක් නිසා මහණ වෙන්න කැමති වුනාද කියළා කියන්න බැහැ . කොහොම වුනත් අදට වඩා ඒ කාලයේ ළමයි, කැමතියි මහණ වෙන්න. මවුපියන් කැමතියි දරුවන් මහණ කරන්න.මං විතරක් නෙමෙයි, ඔය වෙනකොට මහණ වෙන්න කැමැත්තෙන් හිටියේ. තවත් ළමයින් විසි හය දෙනෙක් මහණ වෙන්න කැමැත්තෙන් සුදානම් වෙලා හිටියා. 1906 ජනවාරි මාසයේ 8 වෙනිදා මා ඇතුළු තවත් ළමයි විසි හය දෙනෙක් පැවිදි වුණා. අපව පැවිදි කලේ බුරුම ජාතික විනයාලංකාර හාමුදුරුවෝ.

මහණ වෙන්න ඉස්සර වෙලා  සාමනේර බණ දහම් පොත, පාලි වර නැගිල්ල, වගේ පොත් කීපයක් පාඩම් කළා. ඒ පොත් පාඩම් කලේ බටුවිට සුසීම කියන හාමුදුරුවන් ළඟ. පැවිදිවීමෙන් පස්සේ  අපට වැඩි කාලයක් ලංකාවේ ඉන්න ලැබුනේ නැහැ. විනයාලංකාර  හාමුදුරුවන් 1908 ජනවාරි 27 වැනිදා අප ඔක්කොම බුරුම රටට එක්කර ගෙන ගියා. ඒ නිසා බණ දහම් පිලිබඳ අපට මුලික දැනුම ලැබුනේ බුරුමයේදී. ඒ විතරක් නෙමෙයි. ත්‍රිපිටක ධර්මය සම්පුර්ණයෙන්ම ඉගෙන ගත්තෙත් බුරුම රටේදී. මා ඇතුළු සාමනේර පිරිස නතරවෙලා හිටියේ පහත බුරුමයේ  “ශ්වේජින්” නිකායේ මහා නායක මා හිමියන් වහන්සේ ළඟ. මුල් අවුරුදු කිහිපයේදී අපට හරිම අමාරු වුණා. එකට හේතුව බුරුම භාෂාව අපට නොතේරුන නිසයි.  බුරුම භාෂාව ඉගෙන ගැනීමත් හරිම අමාරුයි. සමහර බුරුම වචන උච්චාරණය කරන්න කොහොමවත් බැරි වුණා. නමුත් පස්සේ පස්සේ ටික ටික හරි ගියා.  මට ඒ කාලේ හොඳට පාඩම් හිටිනවා. ඒ නිසා මං හුඟක් පොත් පාඩම් කළා. අවුරුදු දහයකට වැඩි කාලයක් මං බුරුම රටේ හිටියා. ඒ කාලය තුල බුරුම රටේ පිළිගත් උගත් ධර්ම විනය ධර ආචාර්ය වරුන් ළඟ ධර්ම විනය අටුවා ටීකා සහිතව හොඳින් ඉගෙන ගත්තා. ඔය අතර එක වරක් ලංකාවට ඇවිත් යන්න අවස්තාව ලැබුනා. ආපසු මා බුරුමයට ගියේ උපසම්පදාව ලබා ගැනීමටත් එක්කයි. 1917 ඔක්තෝම්බර් 26 වෙනිදා බුරුම රටේ ධම්මිකාරාම සීමාවේදී අධිශීල සංක්යාත උපසම්පදාව මං ලබාගත්තා.  අභිධර්මය ගැන ගැඹුරු දැනුමක් මා ලබා ගත්තෙත් බුරුම රටේදී. ඒ පිළිඹඳ මහා විශාරද උගත් භික්ෂුන් වහන්සේලා බුරුම රටේ ඉන්නවා. ඒ වගේම වටිනා පොත් පත්  රාශියක් බුරුම භාෂාවෙන් ලියවෙලා තියෙනවා. භාවනා ක්‍රම පිළිබඳව හොඳ දැනුමක් ලබාගත්තෙත්, ඒවා හොඳින් ප්‍රගුණ කලෙත් බුරුම රටේදී. පසුවෙන කොට  මට බුරුම භාෂාව සිංහල වගේම හොඳට, කතා කරන්නත්, ලියන්න කියන්නත් පුළුවන් වුණා.

මෙතෙන්දි මම බුරුම රටේ ආරාමික අධ්‍යාපනයේ තියෙන හොඳම ඉගැන්වීමේ ක්‍රමයක් ගැනත් කියන්නම්. මා දන්නේ නැහැ වෙන මොනම රටක වත් ඒ වගේ අධ්‍යාපන ක්‍රමයක් තියෙනවාය කියළා. රාත්‍රියට මහා කළුවරේ තමයි ඒ ඉගැන්වීම කරන්නේ. ගුරුවරයාත්, ශිෂ්‍යයොත් මහා කළුවරේ එක තැන වාඩිවෙලා ඉන්නවා. පොත් පත් කිසිවක් නැහැ. ගුරුවරයා මුලින් විස්තර කරලා කියා දෙනවා. එක හොඳින් අහගෙන හිටියොත් ශිෂ්‍යයන්ටත් ඒ පාඩම් පොතේ තියෙන හැටියටම කියන්න පුළුවන් වෙනවා. අභිමතාර්ථ සංග්‍රහයේ ස්වරූප විභාගය. මාතෘකාව, ධාතු කථා, යමක, පට්ඨාන ඔය වගේ පොත් ඔක්කොම රාත්‍රියේ උගන්වනවා. ‘රාත්‍රී වාචන’ වශයෙන්.

දිනපතා උදේ  හතර හමාරට අවදි වෙන්න ඕනෑ. ඒ සඳහා ගෙඩිය ගහනවා. ඊළඟට  වන්දනාමාන කටයුතු වල යෙදෙන්න ඕනෑ.  මෙතනදී පැමිණීම ලකුණු කරනවා. නම කියවන විට ‘ඉන්නවා’ කියළා ශබ්ද නගා කියන්නට ඕනෑ. වෙලාවට නාවොත් දඬුවම් ලැබෙනවා. වතුර කල පහක්, සමහර විට ඊට වැඩි ප්‍රමාණයක් ගෙනිහින් තැනකට වත් කරන්න වෙනවා. මට නම් ඔය පාන්දර නැගිටින එක මක්කරලා වත් කරන්න බැහැ. මුලින් මුලින් මටත් ඔය දඬුවම්  ලැබුනා.  පස්සේ මට දඬුවම් නොදී ඇත හැරියා. ඒ ඇත්තෝම  තේරුම් ගත්තා, මට ඒක කරන්න බැහැ  කියළා.

මං කලින් කිවුව අර ‘රාත්‍රී වාචන’ කියන අන්ධකාරේ කරන ඉගැන්වීම ගැන. සමහර විට පැය තුන, හතරක් එක දිගටම පාඩම කරගෙන යනවා. සමහර දින වල මේ මහා කළුවරේ වාඩිවෙලා ඉන්න අතරම මට නින්ද යනවා. පාඩම අවසන් වෙලා අනෙක් ඔක්කොම නැගිටලා ගිහිල්ලා. මං විතරයි ඉතිරිවෙලා ඉන්නේ. මං ඒ කාලේ හරිම කම්මැලියි. මං තමයි  ඒ කාලේ බුරුමේ හිටිය ලොකුම කම්මැලියා.

බුරුම රටේ ආරාමික අධ්‍යාපනය ගැන මෙතෙන්දී තව ටිකක් කියන්නම්. ආරාමික අධ්‍යාපනයේ පාලි ව්‍යාකරණ ඉගැන්වීමටත් විශේෂ ස්ථානයක් ලැබුණා. පාලි ව්‍යාකරණ හා භාෂාව ගැඹුරට ඉගැන්නුවා. ඒ සමගම ත්‍රිපිටක ධර්මයත් අටුවා ටීක සහිතවම විස්තරාත්වකව ඉගැන්නුවා. අප බුරුම රටේ ඉන්න කාලේ අනෙක් ඉගැන්නීම් වලට විශේෂ තැනක් ලැබුනේ නෑ. දැන්නම් හුඟක් වෙනස්  වෙලා කියළා ආරන්චියි. ඔය ඉංග්‍රීසි වගේ භාෂා ඉගෙනගන්නට සමහර බුරුම හාමුදුරුවරුන් දැන් දැන් ලංකාවටත් එනවා නේ.

Reru-mahanahimi

බුරුමයේ සිට ලංකාවට

බුරුමයේදී ශ්වෙච්ජින් නිකායේ උපසම්පදාවත් ලබා ගෙන අවුරුද්දක් විතර ගියාට පස්සෙයි මං ලංකාවට ආවේ. ඒ ඇවිදිල්ලා කොළඹ, දෙමටගොඩ මහා විසුද්ධාරාමයේ කාලයක් නතරව හිටියා. එකට විශේෂ හේතුවකුත් තිබුනා. ඒ කාලයේ පිට රටක ඉඳලා මෙහාට ආවාම සනීපාරක්ෂාව – සෞඛ්‍ය  යහපත් බව රජයට ඔප්පු කරන්නට පරීක්ෂණ වල-ට  යන්න වෙනවා. ඉතින් කොළඹ ම නතර වී සිටීම ඒකට පහසුවක් වුණා. මෙතනදී මා එක දෙයක් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. ඔය විසුද්ධාරාමයේ වැඩ සිටිය අරංගල සිරිධම්ම හාමුදුරුවන් තමයි මේ දහම් පොත් පත් ලිවීමට මාව උනන්දු කලේ. ‘බුරුම රටේ බුරුම භාෂාවෙන් ධර්මය පිළිබඳවත් විශේෂයින් අබිධර්මය පිළිබඳවත් වටිනා පොත් පත් ලියවිලා තියෙනවා. ඒ වගේ පොත් ටිකක් ඔබ වහන්සේත් සිංහල භාෂාවෙන් ලිව්වොත් හොඳයි’ කියළා නිතර නිතර ඒ හාමුදුරුවන් මට කිව්වා.

ඔය ඉන්න අතරේ සිරිධම්ම හාමුදුරුවන්  අභිධර්මය උගන්න පන්තිවලට ගිහිල්ල මාත් පැත්තකින් අහගෙන හිටියා. මං ඉතින් බුරුම රටේ අවුරුදු ගානක් ඉදලානේ ලංකාවට ආවේ. ඒ නිසා  වැඩි දෙනෙක් හිතුවා මට අභිධර්මය වගේ දේවල් හොඳින් පුලුවන්ය කියළා. ඉගෙනීමට ආව ශිෂ්‍යයන් සමහර අවස්ථාවල මට කීවා ඒ අයට අභිධර්මාර්ථ සංග්‍රහය උගන්වන්න කියළා. මං ඒකට එච්චර  කැමති වුනේ නෑ. ඒ ඇත්තන් නැවත නැවත මේ ඉල්ලීම මගෙන් කළ නිසා  දවසක් මා ඒ ඇත්තන්ට  අභිධර්මාර්ථ සංග්‍රහය  ඉගැන්නුවා. ඔය අතර ශිෂ්‍යයන් කියන්න ගත්තා සිරිධම්ම හාමුදුරුවට වැඩිය හොඳින් මං උගන්වනවය කියළා.  ඒ සිරිධම්ම හාමුදුරුවන් අභිධර්මය ගැන ලෝක ප්‍රසිද්ධ වෙච්ච නමක්. ඉතින් මං වගේ පුංචි කෙනෙක් එහෙම කෙනෙකුට වඩා හොඳින් උගන්වනවාය කීවාම ඒක එහෙම කෙනෙකුට කරන මහා මදි පුංචි කමක් වෙනවා නේ. ඉතින් මං කල්පනා කළා මේ වගේ කතාවක් ඇති වෙච්ච එක හොඳ නෑ. දැන් ඉතින් මම  ඉක්මනින්ම මෙතනින් අයින් වෙලා යන්ට ඕනෑ ය කියළා, මං තීරණය කළා. හැබැයි මා ඒ ඇත්තන්ට කිව්වේ නැහැ  අස්වෙලා යනවාය කියළා. යමින් එමින් ටික දවසක් ඉඳළා පස්සේ නොගොහින්ම අත හැරියා. නමුත් අපේ සම්බන්ධකම මේ මෑතක් වෙනතුරුම තිබුනා. ඒ විසුද්ධාරාමයේ අභිධර්මය ඉහෙනීමට ආව ශිෂ්‍යයන් ගැන මං මුලදී බිය වුණා. මේ ඇත්තන් හරියට දන්නවා ඇති කියළා. බැලුවාම මට තරම් ඒවා ගැන දැනුමක් ඇති කව්රුවත් ඒ ශිෂ්‍යයන් අතර හිටියේ නෑ. නමුත් ඒ අය මැරීගෙන උදේ ඉඳන් පාඩම් කරනවා. මං එහෙම මහන්සි වෙලා කවදාවත් පාඩම් කරන්නේ නැහැ. මට එක වරක් ඕනෑම දෙයක් බැලුවාම පාඩම් හිටිනවා. ත්‍රිපිටකයේ වැඩිම ප්‍රමාණයක් මට කට පාඩම්. දැනුත්  ඒවා වෙනසක් නැතුව පාඩම් තියෙනවා.


විසුද්ධාරාමයෙන් ගිහිල්ල මං පානදුරේ පන්සලක ටික දවසක් නතර වෙලා හිටියා. ඒ පන්සලේ විහාරාධිපති හාමුදුරුවන් වහන්සේ ධීරානන්ද හාමුදුරුවෝ. ඒ පන්සල වැල්ලබඩ පන්සල  කියලයි ප්‍රසිද්ධ වෙලා තුබුණේ මුහුද අයිනේ තිබුන නිසා. සරීර සෞඛ්යටත් ඒක හොඳ නිසා මං කලක් එහේ නතරවෙලා හිටියා. එතැනදී තමයි මම මුළින පොත් ලිවීම පටන් ගත්තේ.  මුලින්ම මං ලිවූ පොත “නිර්වාන විනිශ්චය” කියන පොතයි. මේ පොත ලියන්න හේතුවක් තිබුනා. ඒ කාලයේ තිබුනා ‘ධර්ම ශ්‍රී’ කියළා සඟරාවක්. ඒ සඟරාවේ සංස්කාරකවරයා මගෙන් ඉල්ලීමක් කළා නිර්වාණය ගැන ලිපියක් ලියල දෙන්නය කියළා. ඒක පල වුනාම ඒ ලිපිය විවේචනය කරමින් කවුදෝ ගිහි මහත්මයෙක් ලිපියක් ලියා තිබුනා. මට උන් නහෙගේ නම මතක නැහැ. එකට පිළිතුරු හැට්යට මම තව ලිපියක් ලීවා. ඒකටත් තවත් පිළිතුරු ලිපියක් උන්නැහේ ලීවා. ඉතින් මම කල්පනා කළා මේ ලිපි ලිවීමෙන් පලක් නැත. නිර්වාණය විස්තර කරමින් පොතක් ලියන්න ඕනෑය කියළා. ඒ ලිවූ පොත තමයි “නිර්වාන විනිශ්චය”.  එතකොට මට වයස අවුරුදු විසි නවයක් විතර ඇති. මේ පොත ප්‍රසිද්ධ කලාට පස්සේ  සමහරු ඒක කියවන්නත් ඇති. එක ටිකක් ගැඹුරු කාරණා ඇතුළත් පොතක්.  ඒක කියවපු අයට ඒ තරම් රසයක් නොදැනෙන්නත් ඇති. නිර්වාණය ගැඹුරු දහමක්. තේරුම් ගැනීම පහසු නැහැ. ඒ ගැන ලියන්නට සුදුසු වචන තෝරා ගැනීමත් ලෙහෙසි නැහැ. ඒ නිසා මං හිතනවා  ඒ පොත මං ලිවූ අනික් පොත් තරම් කිවන අයට ප්‍රිය බවක් ඇති නුනාදෝ කියළා. කොහොම උනත් මගේ සිංහල දැනුමත් ඔය පොත ලියන කොට ඒ තරම් හොඳ නැහැ. ඔය කාලේ මං සිංහල දැනුම වැඩි කරගන්න ජාතක පොත, සද්ධර්ම රතනාවලිය, පූජාවලිය, වගේ පොත් කියෙව්වා. ඒවායේ තියෙන වචනත් මට හුරු වුණා. ඔය “නිර්වාන විනිශ්චය” පොතේ මං යොදල තියෙන්නේ  හුඟක් අර පැරණි පොත්වල තියෙන වචනය කියල මට හිතෙනවා. ඊට පස්සේ මම ලිවූ පොත්වල භාෂාව මුල පොතේ භාෂාවට වඩා සරලයි.  ඇත්තෙන්ම මට මම හිතුවේ ඔය නිර්වාන විනිශ්චය පොත නැවත මුද්‍රණය නොකොර  ඒකෙන්ම නතර කරලා දාන්න. නමුත් මගේ අකමැත්ත මද මේ ළඟදී ඒ පොත නැවත අච්චු ගසා තියෙනවා. මං පස්සේ ලිව්වනේ “පටිච්ච සමුප්පාද විවරණය” කියළා පොතක්. ඒ පොතේ ඔය නිර්වාණය ගැනත් හොඳ විස්තරයක් කරලා තියෙනවා. ඒකයි මම නිර්වාන විනිශ්චය අයෙමත් අච්චු ගස්සන්න එපාය කීවේ.

මං පොත් ලිව්වේ අච්චු ගස්සලා විකුනලා මුදල් හම්බ කරන අදහසින් නෙමෙයි. මං ලිවූ පොතක් වෙන කවුරු හරි අච්චු ගස්සලා බෙදුවට, ඒ පොත්වල කොටස් උපුටා ගෙන ප්‍රසිද්ධ කලාට, මගේ නමත් මකලා, වෙන කෙනෙකුගේ නමින් අච්චු ගස්සෙව්වට මගේ නම් කිසිම විරුද්ධ කමක් නෑ. ඒක නීතියෙන් තහනම් උනාට මගෙන් නම් තහනමක් නැහැ. මං පොත් ලිව්වේ පොදු ජනතාවට මේ උතුම් ධර්මය බෙදා දෙන්නටත් වඩා “මගේ  සම්මොහය දුරු කර ගන්නයි.” ධර්මය ඉගෙන ගැනීමෙනුත් පොත් ලියන්නට ඕනෑකරන කාරණා රැස්  කිරීමෙනුත්, ඒ සම්මොහය දුරු වෙනවාය කියළා කියන්න පුලුවන්.


බුරුම පන්සල

බුරුමයේ ඉඳන් ඇවිත් අපට ගුරුන් වහන්සේ වුන ඌ විනයාලංකාර හාමුදුරුවන් ගෙන් ආරම්භවෙච්ච මේ පන්සලට “විනයලන්කාරාමය” කියළා නම තැබුනාය කියන එක මම කලින් කීවා. බුරුම පන්සලය කියළා කිව්වට බුරුමයේ පන්සල් වල තියෙන වැඩ පිළිවෙල මෙහෙ අනුගමනය කෙරෙන්නේ නැහැ.  එහෙමම කරන්නත් බැහැ නේ.  නමුත් මුල් කාලයේ සියම් නිකායේ පන්සල් එක්ක සම්බන්ධ කම් තිබුනේ නැහැ. බටුවිට පන්සලත්, බොල්ගොඩ පන්සලත් අපෙම නිකායට අයිති ඒවා. ඒ හන්ද ඒ පන්සල් දෙක එක්ක ලඟින් සම්බන්ධකම් තිබුනා. නමුත් පස්සෙ පස්සෙ සියම් නිකායේ පන්සල් එක්කත් අපේ සම්බන්ධය ඇති වුණා. දැන් නම් කිසි වෙනස්කමක් නැහැ. කවුරුත්  එකට එකතුවෙලා ආගමික කටයුතු කරනවා.

මං මේ බුරුම පන්සලට එන්න ඉස්සර තවත් කීප තැනකම  හිටියා. අවුරුද්දක් විතර කළුතර “කුමාරි කන්ද” කියන පන්සලේ හිටියා. එතැන වස් කාලයකුත් ගතකලා. ඒ පන්සලේ ඒ කාලේ හිටියා කොත්මලේ සද්ධාවාස කියළා උගත් හාමුදුරු නමක්.

බොල්ගොඩ පන්සලෙත් මම සෑහෙන කාලයක් හිටියා. ඒ පන්සලේ හිටි ධම්මජෝති ලොකු හාමුදුරුවෝ අපවත් වුණායින් පස්සේ එතන බලා කියාගන්න මට සිද්ධ වුණා. මං පුළුවන් තරමින් ඒ ස්ථානය දියුණු කළා. ආගමික කටයුතු බොහෝ විට ඉෂ්ටකරලා දුන්නේ මේ බුරුම පන්සලෙන් සංඝයා වැඩමවා ගෙන ගිහිල්ලා.

කිරිවත්තුඩුව පැත්තේ රාමඥඥ නිකායේ පන්සලකත් මං ටික කලක් නතර වෙලා හිටියා. ඒ කාලේ පන්සල පාලුවට ගිහිල්ල තිබුනේ. ඒ පන්සල භාරව හිටි හාමුදුරුවන්ට තවත් හුඟක් පන්සල් තිබුනා. සමහරු ඒ හාමුදුරුවන්ට කීවේ “පන්සල් චක්‍රවර්ති” කියල. ඒ උන්නාන්සේ මුල්ලේගම හාමුදුරු නමක්. මං ඔය තැන් තැන් වල හිටියේ  මෙහේ අග්ග ධම්මාලංකාර හාමුදුරුවෝ වැඩ සිටි කාලෙයි.  ඔහොම අවුරුදු දහයක් විතර මං වෙන පන්සල් වල ඉන්න ඇති. අග්ග ධම්මාලංකාර හාමුදුරුවෝ අපවත් වුනාට පස්සේ  මට මෙහෙ ට එන්න වුණා. මුල් කාලයේ ඉඳන්ම මට පන්සල් වල වැඩ කරමින් ඉන්න අදහසක් තිබුනේ නැහැ. ආරන්යකට වෙලා බණ භාවනා කරගෙන කල් ගෙවන්නයි මගේ කැමැත්ත තිවුනේ. මුල පටන්ම මට ආසාව තුවුනේ මේ උතුම් ධර්මය හොඳට දැන ඉගෙන ගන්න ඕනෑය කියන එකයි. මේ බණ පොත් ලියලා ලෝකයාට ධර්මය බෙදන්න අදහසක් මට තිව්නේ නැහැ. පළමුවෙන් මම මේ ධර්මය දැන ඉගෙන ගෙන යම් ප්‍රතිඵලයක්  ලබන්ට ඕනෑය කියන අදහස තමයි මට තිව්නේ. මේ සසරින් එතෙර වීම තමයි අපේ අධිෂ්ඨානය වෙන්න ඕනේ. එහෙම ආරණ්‍ය දෙක තුනකටත් මං ගියා.  නමුත් මට වෙච්ච අසනීපකම් නිසා ඒ අදහස් අත හැරලා  පන්සලට ආවා.  පන්සලකට වෙලා බණ දෙසනා කරමින් පොත් පත් ලියමින් දායකයන්ගේ වැඩට කාලය යොදමින්  ඉන්නකොට ඒ කාර්යයට කාලය හිඟ වෙනවා නේ. ඒ හන්ද මම පුළු පුළුවන් විදියට කාලය පිරිමහ ගෙන මගේ වැඩෙත් ලෝක සේවයත් කරනවා.  මුළු කාලයම ඒ සඳහා යොදා ගත්ත නම් හොඳය කියළා මට හිතෙනවා…………………

අති පුජ්‍ය මහා නායක ස්වාමින් වහන්සේ සමග කල සාකච්චාවක් සහ
ආදාහන උත්සවය

රේරුකානේ චන්ද්‍රවිමල හිමියන් විසින් රචිත ග්‍රන්ථ

Books-From-Pokunuwitaපොත් කියවීම සඳහා මෙම ලකුණ ක්ලික් කරන්න.  READ
චන්දවිමලසිංහ හිමියන් ලැබු උපාධි සහ සම්මාන-
ප්‍රාචීන භාෂෝපකාර සමිමාන පණ්ඩිත උපාධිය
අභිධර්මය පිළිබඳ මහාචාර්ය පදවිය
1963 වසරේදී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ලැබු සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය
1976 වසරේදී ලැබු ශ්‍රි ලංකා ශ්වෙජින් නිකායේ මහානායක පදවිය
අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් ලැබු ප්‍රාවවන පදවිය