එස් මහින්ද හිමි (1901-1951)

පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය වන අපගේ මාතෘ භූමියට, සිංහල භාෂාවට හා බුදු දහමට අමිල සේවාවක්‌ කරමින් සිංහලයන් තුළ ජාතික හැඟීම් පුබුදු කරවීමෙහිලා මහත්වූ වෙහෙසක්‌ දැරූ විදේශිකයන් අතරින් ප්‍රමුඛස්‌ථානයක් ටිබෙට්‌ ජාතික සිකීම් මහින්ද හිමියන්ට අත්වේ. .

ජාතියෙන් සිංහලයකු නොවූවද, ලක්‌බිමෙහි නොඉපදුණද , සිංහල ජාතිය ගැන බුදුදහම පිළිබඳව නිරතුරුව ජාතික කැක්‌කුමකින් ක්‍රියා කළ මහින්ද හිමියෝ සිය කවීත්වය උපයෝගි කරගෙන නිදා සිටි සිංහලයන් අවදි කිරීමේ පුරෝගාමී මෙහෙවරක නිරතවූහ.

S.Mahinda

එස්‌. කේ. ටෂිනම්ගල් කුමරු හිමාලය කඳුවැටිය අසල ටිබැට්‌ ප්‍රදේශයට යාබද සිකීම් නුවරදී උපත ලබන්නේ 1901 වසරේදීය.  කුඩා අවධියේම දෙමාපියන් අහිමි වූ තෂිනම්ගසල්ට සොහොයුරන් තිදෙනකු වූ බවට තොරතුරු හමු වේ. ඒ අතර තුන්වන සොයුරු සීකිම් පුණ්‌නජි හිමි නමින් පැවිදිව සිටි අතර කුඩා තෂිනම්ගසල් හට රැකවරණ සැපයූයේ උන්වහන්සේය. සිය සොහොයුරා  භික්ෂුවක් නිසා ඔහුට බුද්ධාගම ගැන ඉමහත් ලැදියාවක් විය. වැඩිමල් සොහොයුරා කල්කටා විශ්වවිද්‍යාලයේ ටිබෙට්‌ භාෂාව පිළිබඳව කථිකාචාර්යවරයකු ලෙස කීර්තිමත් සේවයක්‌ කළ අයෙකි. දෙවැනි සොයුරා ටිබෙට්‌ රජුගේ අගමැති ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ වී තිබේ.

1912 වසරේදී දෛවෝපගතව මෙන් ලංකාවේ බෞද්ධ කටයුතුවල නිරතව සිටි ජර්මානු ජාතික ඥාණාතිලෝක හිමියන් සික්කිම් දේශයට පැමිණියේ සීකිම් පූණ්‌නජි හිමියන් හමුව යම් තාන්ත්‍රික ධර්මයේ අඩංගු සුත්‍ර පිළිබද සොයාබලන්නටය. ත්‍රිපිටකයේ ජර්මානු පරිවර්ථනයක් ලියමින් සිටි ඥාණාතිලෝක හිමියන් ට ආධාර කරන්නට ලන්කාවට එන්නට කැමති වූ සීකිම් පූණ්‌නජි හිමියන් සිය සොහොයුරා ටෂිනම්ගල්ද කැටිව ඥාණාතිලෝක ස්වාමින් වහන්සේ සමගම ලක්‌දිවට පැමිණ දොඩන් දුවේ පොල් ගස් දුව ආරන්යේ නතර විය.

පසුව අධ්‍යාපනය ලැබීමට පුණ්‌නජි හිමියන් සමගින් මරදාන මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙනට ගිය තෂිනම්ගසල් එහිදී සිංහල, පාලි, සංස්‌කෘත ආදි භාෂාද බුදුදහම හා නක්‍ෂත්‍රය වැනි විෂයන් ද ඉගෙන ගත්තේය. පසුව දොඩංදූව ශෛලබිම්බාරාමයේදී තෂිනම්ගසල් පැවිදි භාවයට පත්වන්නේ ටිබෙට්‌ එස්‌. මහින්ද හිමි නමිනි. ඒ අතරතුරදී අලුත්ගම සීලක්‌ඛන්ධ නාහිමියන්ගෙන් සංස්‌කෘත සිංහල, පාලි, බුද්ධාගම ආදී සියලු ශාස්‌ත්‍රයන් මැනවින් ප්‍රගුණ කරමින් ව්‍යක්‌ත ධර්ම දේශකයන් වහන්සේ නමක්‌ වූයේ සාමණේර අවධියේදීමය. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් රත්ගම සිරි චූලසුමන හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස උන්වහන්සේ එදා පැවිදිව දොඩංදූවේ වාසය කරන අතර තම සද්ධිවිහාරික දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ඇසුරින් තම සහජ කවිත්වය ඔප්නංවා ගත්තේය. ටිබෙට්‌ එස්‌. මහින්ද හිමියන් මහා කවියකු බවට පත්කරන ලද්දේ දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ගුරු හරුකම් මගිනි. ජිනරතන හිමියන් අප්‍රකට වුවත් දක්‍ෂ කවියෙකි.

පසුව දොඩන්දූව ශෛලබිම්බාරාමයේ සිට රත්මලානට පැමිණ රත්මලාන පුරාණ රජමහා විහාරාධිපතිව සිටි ධර්ම කීර්ති ශ්‍රී ඉන්ද්‍රජෝති හිමියන්ගේ ශිෂ්‍යයකුව කලක් සිය අද්යාපන කටයුතුවල නියැලුණේය. ප්‍රාචීන මධ්‍යම විභාගයන්  සමත් ව  1930 ජුනි 16 දින පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නාහිමි වෙතින් සියම් මහා නිකායේ පැවිදි භාවය ලබාගන්නා ලදී. ඒ කිරිගල්පොත්ත ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම ඉන්ද්‍රජෝති නායක හිමියන් ආචාර්ය කොටගෙනය. ඉන් වසරකට පසු මහනුවර ශ්‍රී පුෂ්පාරාම උපෝසථාගාරයේ දී සියම් නිකායේ උපසම්පදාව ලබන ලදී. 1934 දී පමණ මරදාන ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවයට එක්‌විය.


කුමන කාර්යයක නිරතවී සිටියද දේශවාත්සල්‍ය දනවන උසස්‌ කවි ලියමින් සිංහලයන් තුළ ජාතික හැඟීම් පුබුදු කරවීමට මහින්ද හිමියන් කිසිවිටෙකත් අමතක නොකළේය.

1935 දී “ලංකා මාතා” නමැති විශිෂ්ට කාව්‍යය පෙළක්  ලියමින් සිය කවීත්වය මැනවින් ඉස්‌මතු කළ උන්වහන්සේ අඛණ්‌ඩව කවි ලියුවේ අසරණව සිටි සිංහලයාට වහල් බැම්මෙන් මිදී නිවහනව නැඟී සිටීමට ධෛර්යය දීමටය. මහින්ද හිමියන්ගේ කවි අසිපතනේ නැඟුණු රණහඬ නිදහස්‌ සටනට උරදී සිටි විරුවන්ගේ සිතට මහත් ශක්‌තියක්‌ විය.

“ඔවා මුතු දම” නමැති කවි පොත රචනා කරමින් ග්‍රන්ථ කරණයට පිවිසි උන්වහන්සේ ඉතා වටිනා කාව්‍ය ග්‍රන්ථ 29 ක්‌ සහ ගද්‍ය ග්‍රන්ථ 11 ක්‌ ලියා පළකරමින් සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට නොපිරිහෙලා දායක වූහ. කොළඹ යුගයේ ප්‍රථම කාලයේ දක්‍ෂ කවියකු වූ ටිබෙට්‌ හිමියෝ දිනපතා හා සති අන්ත පුවත්පත්වලට සඟරාදියට සැපයූ ලිපි කවි ආදිය අප්‍රමාණය.

මහින්ද හිමියන් ළමා පරපුර වෙනුවෙන් ද බොහෝ කවි ගී ලියා ඇති බව ප්‍රසිද්ධ කරුණකි. ළමා ලෝකයේ සුන්දරත්වය ඉතා සරළව මෙන්ම රසවත්ව ඉදිරිපත් කරමින් ළමා මනස පුබුදුවාලීමට වෙහෙස දැරීය. ළමා කවි කළඹ, ඔවා මුතු දම, කව් මිණ, කව්මුතු එයට කදිම උදාහරණ වේ.


උන්වහන්සේ සිය ජීවිතයේ අවසන් වසර 15 ම පානදුරේ මහබෙල්ලන සුධර්මාරාම විහාරයේ වැඩ වෙසෙමින් විශාල ශාසනික මෙහෙවරක නිරත විය. අමද්‍යප ව්‍යාපාරයට සාර්ථක දායකත්වයක්‌ සපයමින් ඉංගීසි පාඨශාලාවක්‌ හා නවලංකා දහම් පාසල පවත්වාගෙන යැමට කටයුතු කළේය.

විදේශිකයකු වුවද සිංහල ජාතිය අසරණව සිටි අවධියක සිංහල ජාතියේ ඉතිහාසය සහ ප්‍රෙෘඪතAවය පෙන්වා දෙමින් සිංහලයා තුළ දේශානුරාගය හා නිවහල් හැඟුම් ඇතිකරලීමට දිවිහිමියෙන් කටයුතු කළ ටිබෙට්‌ ජාතික සිකීම් මහින්ද හිමියෝ 1951 මාර්තු 16 දා සකල  ලංකාවාසී  බෞද්ධ ජනතාවම ශෝකයට පත්කරමින් හදිසියේ අපවත්වී වදාළ සේක.

උන්වහන්සේ ට නිර්වාන ධර්මය පසක් වෙත්වා

ශාස්‌ත්‍රපති පොල්ගහවිල ඤාණකිත්ති හිමි. තිලකපුර
කොස්‌ගොඩ – සේනක ප්‍රියදර්ශන

අද ලක් මවගේ පුත්තු

දුගඳක් නොඉවසන මුත් පිටතින්                 ගත්තු
නරි රොක් ගැහෙන තැන්වල රිංගා             ගත්තු
කෙසඟක් පමණ මොළ කබලක් නැති         සත්තු
අද ලක් මවගේ පෙම්බර ජාතික                 පුත්තු

වසම ගොඩයි සිංහල ගෑණිගේ                   තොත්තු
එහෙම නොවෙයි සුදු ගෑණිගේ                   රති මත්තු
බොහොම හොඳයි සලකන මේ                  වල් සත්තු
රැළම  තමයි අද ලක් මවගේ                      පුත්තු

කියුම පෙනුම හෙට බුදු වන                     බෝසත්තු
කෙරුම හරිය හරියට අර                         දේවදත්තු
මෙහෙම දෙපිට වෙස් මුහුණක්                 බැඳ ගත්තු
අයම තමයි අද ලක් මවගේ                     පුත්තු

ඔසම අමා බසකින් දිවගට                    ගත්තු
ආගම අතට හරවන මුත් සෙසු               සත්තු
ලෝකෙම\ තිබෙන  නොබිනාකම් නොනැවත්තු
මූලම තමයි අද ලක් මවගේ                  පුත්තු

සැපක් ලැබීමට අසරනැ                        දුප්පත්තු
හිසක් ඉලක්කය කරගත්                       වැඩ ගත්තු
නමක් සියල්ලකදීම මුල් කර                 ගත්තු
රැළක් තමයි අද ලක් මවගේ                 පුත්තු

මෙහෙම නමුත් හමුවෙයි මග                   පොහොසත්තු
කදිම සුරතුරක සායම                             ඇද ගත්තු
ලොවම කපටිකමකට ලූ                         මේ සත්තු
රැළම තමයි අද ලක් මවගේ                    පුත්තු

උත්තම පරපුරැති වැදගත්                            කුළවත්තු
පැත්තක අමන පාහර                                  සිතකින් වත්තු
ගන් මත්තාට වත් නැති නම්                         බැඳ   ගත්තු
රොත්තක් තමයි අද ලක් මවගේ                  පුත්තු

ගයයි වයයි අපි වෙමු යයි                          පොහොසත්තු
හිඟයි කියයි දුටු තැනකදී                           දුප්පත්තු
පවයි පිනයි ලාබෙට හරවා                         ගත්තු
අපොයි අපොයි අද ලක් මවගේ                  පුත්තු

ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ

හර සර බවට සිය ජාතික ජීව පොවා
මැරුනොත් රුපුන් නිදහස් රණ බිමේ හොවා
සුර සුන්දරින් සුරතින් සුර සුවද තබා
සරසනු ලියක් ඔබගේ මල සිරුර පවා
රටක් ජාතියක් සමයත් කරන කොට
තුවක්කුවට කඩුවට ගල් මුල් වලට
ඉලක්කයක් වන්නට ඇත්නම් අපට
සැපක් තමයි නොනිවෙන නිවනින් මෙපිට
කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙත්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ
බලව් පොළාන්නරු අනුරාපුර පෙදෙස
සිතව් පැවති නිදහස එහි පෙර දවස
නගව් තව තවත් තර සර තරුණ ගොස
වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ ඇස
– ඇස් මහින්ද හිමි.

ළමයා සහ සමනළයා

පිහාටුවල – පුංචි පුංචි
පුල්ලි තියෙන – සමනළයෝකහ පාටයි – නිල් පාටයි
බොහොම හැඩයි – සමනළයෝ

පියා හඹා – මල් සොයන්න
යනවද පොඩි – සමනළයෝ

යාළු කමට – මල් මොකටද
මම නරකද – සමනළයෝ

මෙන්න මේක – රෝස මලක්
පැණි බීපන් – සමනළයෝ

පැණි බීලා – මගේ අතට
වරෙන් වරෙන් – සමනළයෝ