පූජ්ය වේවැල්දෙණියේ මේධාලංකාර (1909-2012)

weweldeniye_medhalankara

පූජ්ය වේවැල්දෙණියේ මේධාලංකාර ස්වාමින්වහන්සේ උපතලද්දේ 1909 වසරේ දෙසැම්බර් 7 දින වේවැල්දෙණියේ මිල්ලවල ග්‍රාමයේදීය. සින්ගිකුට්ටි ආරච්චිගේ ඊසන් අප්පුහාමි හා රාජපක්ස විතාරනලාගේ ලියගුහාමි දෙමහල්ලන්ගේ බාලම දරුවා වූ  උන්වහන්සේගේ  ගිහි නම බෙන්ජමින් අප්පුහාමි විය. තෝලංගමුව කනිෂ්ඨ විද්යාලය යේ මුලික අධ්‍යාපනය ලත් ඔහු 1922 වසරේ මැයි  26 වැනිදා සසුන්ගතවුයේ  අනුරාධපුර අභයගිරි විහාරාධිපති පූජ්ය කතළුවේ සීලවංශ හිමියන්ගේ සහ පුජ්‍ය කදිරාගම සුමනසාර නායක ස්වාමින්වහන්සේගේ  ගුරු ප්‍රවජ්යාවෙනි. උන්වහන්සේ  භික්ෂු අද්‍යාපනය ලද්දේ මීරිගම විද්‍යානන්ද මහා පිරිවෙනහිය. පූජ්ය කෝදාගොඩ උපසේන, පූජ්ය රේරුකානේ අරියඥාන, පූජ්ය කදිරාගම සුමනසාර ආදී මහා වියත් ගුරු ස්වාමින්වහන්සේලාගෙන්  පාලි සංස්කෘත භාෂාද අහිධර්මයද තර්කය, දර්ශන ආදී විෂයයන් හදාළ උන්වහන්සේ උසස් උපසම්පදාව ලැබුවේ 1930 ජුනි 30 වන දිනය.


ශ්‍රී ලංකා රාමන්ඥ  නිකායේ විනය පරිපාලන මණ්ඩලයේ සභිකයෙකු ලෙස 1950 දී  මේධාලංකාර ස්වාමින්වහන්සේට කටයුතු කරන්නට ලැබිණ. 1966 වසරේදී එම සභාවේ ක්‍රියාකාරී මුළුවේ අනුවෛජික සාමාජිකත්වය ලත් උන්වහන්සේ 1974 වසරේදී  එහි ජ්‍යෙෂ්ට සාමජිකත්වයකට පත් කෙරින. 1972 දී සිය ගුරු ස්වාමින්වහන්සේ වූ පුජ්‍ය කදිරාගම සුමනසාර හිමියන්ගේගේ අපවත්වීමෙන් පසු, උන්වහන්සේට මීරිගම ශාසනවර්ධන පිරිවෙනෙහි කටයුතු ද පැවරිණ. 1985 වසරෙදී  උන්වහන්සේ ශ්‍රී ලංකා රාමන්ඥ  නිකායේ අධිකරණ  සංඝ නායක ධුරයට පත්කෙරින. 1993 වසරේදී සංඥා ලේඛකාදිකාරි තනතුර හෙබවූ  මේධාලංකාර ස්වාමින්වහන්සේ ශ්‍රී ලංකා රාමන්ඥ  නිකායේ මහා නායක ධුරයෙන් පිදුම් ලැබුවේ 1993 වසරේදීය.

අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීටයේ පාලක මණ්ඩලයේ කලක් කටයුතු කල උන්වහන්සේ පසුව එහි පීඨාධිපති ලෙස පත්කරනු ලැබීය.

මෙසේ නොයෙක් තනතුරු දරමින් සිංහල සඟ පිරිසට සහ ශාසනයට අපරිමාන ශාසන සේවාවක් ඉටුකළ මේධාලංකාර මහා නායක හිමියෝ කල සමාජ මෙහෙවරද අනන්තය. මීරිගම මහා බෝධි ළමා නිවාසය, මීරිගම සෙත් සෙවන වැඩිහිටි නිවාසය,  මීරිගම සිංහල වෙළඳ සමිතිය ඇතිකරන්නට උන්වහන්සේ මුල් විය. මහාමාන්‍ය ඩී එස්  සේනානායක මැතිතුමන්ගේ ආධාරයෙන් ඇතිකළ මීරිගම මධ්‍ය මහා විද්‍යාලය, වේවැල්දෙනිය මහා විද්‍යාලය, ශාසනවර්ධන ඉරිදා පාසැල සහ ළදරු පාසැල ආදිය ඇතිකරන්නට ද මේධාලංකාර හිමියන් ම මුල් විය.

රටපුරා ඇති බොහෝ ගරා වැටුන පන්සල් පිළිසකර කිරීමටද, නව පන්සල් ඉදි කිරීමටද උන්වහන්සේ අතිශය ප්‍රබල උත්සාහයක් දැරීය අම්පාරේ බුද්ධංගල සේනාසනය, මින්නේරියේ නාගලකන්දේ මහසෙන් සේනාසනය, නුවරඑළියේ සීතාඑළිය ගංගාරාමය, අනුරාධපුරේ පුර්වාරාම විහාරය ඒවායින් සමහරෙකි.

1997 වසරේ සිට මේධාලංකාර හිමියෝ ඉන්දියාව, පකිස්තානය , සිංගප්පුරුව, බුරුම දේශය, තායිලන්තය කොරියාව, ජපානය චීනය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට වැඩම කලේ ඒ ඒ රටවල බෞද්ධ සංවිධාන කල ආරාධනා අනුවය. උන්වහන්සේගේ ශාසන සේවයට උපහාර ලෙස බුරුම රජය පූජ්ය මේධාලංකාර හිමියන්ට “අග්ග මහා සද්ධම්ම ජෝතික” ගෞරව නාමය ප්‍රධානය කළහ.

මෙසේ අති උදාර සාසන සමාජයීය මෙහෙවරක් ඉටුකළ පුජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නායක ස්වාමින්වහන්සේ, වසර 103ක් ආයු වළඳා, 2012 වසරේ අගෝස්තු 29 වැනිදින අපවත්වී වදාළ සේක. උන්වහන්සේ පිළිබද අවසන් කටයුතු මීරිගම ඩී ඇස් සේනානායක මධ්‍ය මහා විද්‍යාලයීය භූමියේදී පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරිණ.

මහා නායක ස්වාමින්වහන්සේට නිර්වාණ ද්වාරයම විවර වේවා.

Stamp-medhalankara-Mahanayaka-thero